අන්තවාදීන් ත්‍රස්තවාදය අතකොළුවක් කරගෙන;අමාත්‍ය මංගල

මැයි 12, 2019

    අන්තවාදී ත්‍රස්තවාදය අතකොළුවක් කරගෙන රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති කිරීමට යම් යම් කොටස් කටයුතු කරන බව, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    රජය ඊට කිසිසේත්ම ඉඩ නොදෙන බව මාතර ඊයේ පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා....

    “අද ලෝකේ කිසිම රටක් ත්‍රස්තවාදයෙන් නිදහස් වෙලා නැහැ. කොයි තරම් හොඳ බුද්ධි අංශ තිබුණත් කොතරම් හොඳ හමුදාවක් තිබුණත් අපි හැමවෙලේම අවධානයෙන් ඉන්න ඕනේ. අන්තවාදී ත්‍රස්තවාදය අපි පාලනය කරලා තියෙන්නේ. ඒක ගැන බයවෙන්න එපා. හැබැයි දැන් අන්තවාදී ත්‍රස්තවාදය අතකොළුවක් කරගෙන මේ රට තුළ දේශපාලන අවුල් ජාලාවක් ඇති කරන්නට යම්-යම් කොටස් කටයුතු කරනවා.

    මළමිනී උඩින් ආණ්ඩු හදන්නත් සමහරු මේකෙන් පස්සේ බලාගෙන හිටියා. මේ තත්වය පිටඋඩ දාලා මේ රට තුළ යළි වතාවක් කෝලාහල ඇති කරන්න. මේ රටේ ඉන්න මුස්ලිම් ජාතින්ගෙන් සියයට 90ක්ම මේ ත්‍රස්තවාදයට විරුද්ධයි. විශේෂයෙන් මේ අන්තවාදී ඉස්ලාම් ප්‍රවණතාවයට මම විරුද්ධ වුණා. අපි සාකච්ජා කරා කොහොමද මේ බූර්කාව අයින් කරගන්නේ කියලා. එක පැත්තකින් මම පිළිගන්නවා ඕනෑම කාන්තාවකට තමන්ට ඕන විධියට අඳින්න අයිතියක් තියෙන්න ඕනේ කියලා.

    නමුත් අනෙක් පැත්තෙන් මම කිව්වා ආණ්ඩුව මේක තහනම් කරන්න යන්න එපා අපි මුස්ලිම් ජනතාවට කියලා ඒ ඉල්ලීම අරගෙන අපි ඒක ක්‍රියාත්මක කරමු කියලා. ඒ වගේම ෂර්යා නීතිය මමත් හිතනවා එක රටකට තියෙන්න ඕනේ එක නීතියක්. එහෙමනම් ඒ ෂර්යා නීතිය ඒ ආගමික කටයුතුවලදී ඒ අයට පාවිච්චි කරන්න දෙන්න ඕනේ. නමුත් අනෙක් පැත්තෙන් තීරණාත්මක තීන්දුවලදී රටේ නීතිය බලපානවා. ඒවා අපිට බැහැ අපි තමයි මහජාතිය, ඒක නිසා උඹලා මේක පිලිගනින් කියලා බලහත්කාරයෙන් ඒක ඒ මනුස්සයන්ගේ ඇඟේ පටවන්න. ලංකාව කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ රටක් ඒත් ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල-බෞද්ධ.

    ඒවගේම ඉන්නවා ක්‍රිස්තියානි, කතෝලික,හින්දු, ඉස්ලාම් ඒ හැම කෙනෙකුටම සිංහල බෞද්ධ අපට තියෙන අයිතිවාසිකම් තියෙනවා. අපි බහුතරය වුණු පලියට අපේ පදය කාගේවත් පිට උඩ පටවන්න බැහැ. ත්‍රස්තවාදීන්ගේ අර්බුදය අපි බාරකරමු හමුදාවට, ත්‍රිවිධ හමුදාවට, බුද්ධි අංශවලට නමුත් අනෙක් පැත්තෙන් මේ රට තුළ අර කියපු විධියේ ජාතිවාදී ගිනිදැල්ලක් දල්වන්නට ඉන්නවනම් ඒක නවත්වන්නට පුලුවන් වෙන කාටවත් නොවෙයි අපට පමණයි“. යැයි මාතර දිස්ත්‍රික් සාම කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා පැවසීය.

    Last modified on ඉරිදා, 12 මැයි 2019 19:52

    Latest News