බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකු ආරක්‍ෂා කිරීමට හෝ සැඟවීමට තමාට නෑ;අගමැති

මැයි 12, 2019

    පසුගිය 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකු ආරක්‍ෂා කිරීමට හෝ සැඟවීමට තමාට නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මේ පිළිබඳ විවිධ මත පළ වන බැවින්, ඒ සම්බන්ධයෙන් සැකයක් ඇත්නම්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම උචිත බව අග්‍රාමාත්‍යවරයා කියා සිටී. ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ මේ බව ප්‍රකාශ කළේය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ජනතාවට ඉඩම් ඔප්පු 920ක් මෙහිදී පිරිනැමිණ. ප්‍රහාරය හේතුවෙන් ආණ්ඩුව, විපක්‍ෂය හා පාර්ලිමේන්තුව කෙරෙහි පැවති ජනතා විශ්වාසය පළුදූ වූ බවත්, එම විශ්වාසය යළි ගොඩනඟා ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.....

    “මේ බෝම්බ පිපිරීම නිසා ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසය නැතිවුණා. දේශපාලඥයෙකු කෙරෙහි තිබූ විශ්වාසයත් නැතිවුණා. ආණ්ඩුවේ හිටියත්, විරුද්ධ පක්‍ෂයේ හිටියත්. ඉස්සර හිතුවා මාධ්‍ය හොඳයි කියලා. දැන් කියනවා මාධ්‍යයත් සැණකෙළියක් කියලා. ඒත් අපේ පූජ්‍ය පක්‍ෂ ගත්ත පියවර නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේ වැඩකටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මේ ගැන අපි පාර්ලිමේන්තුවේ විවාද කළා. දෙපැත්තෙම සමහර අය කළේ සම්පුර්ණ දේශපාලන කතා. ඒක විශ්වාසය ඇති කරන්න කිසිම සහයෝගයක් වුණේ නැහැ. අපි නම් කවුරුවත් ආරක්‍ෂා කරන්න ඕනේ නැහැ ඇමතිවරුවත්, මන්ත්‍රීවරුවත්, කවුරුවත්.

    එහෙම චෝදනා තියෙනව නම් මෙන්න හොඳයි, පාර්ලිමේන්තුවේ විවාද කරන කොට මොකක් හරි චෝදනා තියෙනවනම් එතනට ගිහින් දෙන්න. පාර්ලිමේන්තුව විභාග කරනවා කියන්නේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කරන්න. ඒක හොඳයි. බයවෙන්න දෙයක් නැහැ. හංඟගන්න දෙයක් නැහැ. ආරක්‍ෂා කරන්න කවුරුවත් නැහැ. මේක විවෘතව හොයලා බලන්න. නමුත් විපක්‍ෂ නායක අපේ හිටපු ජනාධිපතිතුමත් මේක හොඳ වැඩක් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ පක්‍ෂ ඇතුළේ භේදයක් නැහැ දැන්. අනාගතේ මේක සිදු නොවන විධියට ප්‍රතිත්‍රස්ත රාමුවක් ඇතිකරගන්න. මම යළිත් කියනවා ආරක්‍ෂා කරන්න කවුරුවත් නැහැ, හංගන්න කවුරුවත් නැහැ. දැනගන්න දේ අරගන්න අපි ලැහැස්තියි ඒ අනුව කටයුතු කරන්න“ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    Latest News