අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම්

මැයි 06, 2019

    ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයින්ගේ ලැගුම්හල් සහ ආයුධ ත්‍රිවිධ හමුදාව අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සොයා ගෙන තිබේ.

    ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය භාවිත කරන සංග්‍රාමික ඇඳුම් කට්ටල, හිස්වැසුම්, ක්‍රීඩා ඇඳුම් ඇතුළු විවිධ ඇඳුම් 1,056ක් ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ නිවසකින් සොයා ගැණින. පොලිසිය කළ වැටලීමේදී එම ඇඳුම් තොගය සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මේවා ගෝනි 10ක අසුරා තිබූ බව පොලිසිය පවසයි. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් නිෂ්පාදනය කරන ආයතනවලින් බැහැරට මෙම නිල ඇඳුම් කෙලෙස රැගෙන ආවේදැයි යන්න ගැන විමර්ශන කරන බව පොලිසිය පවසයි.

    ජීප් රථයකින් රැගෙන යමින් තිබූ ඇමෝනියම් නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 250ක් සහ ජෙලග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 200ක් සමඟ පුද්ගලයෙකු හොරණ, මිල්ලනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ආරක්‍ෂක රාජකාරියේ යෙදී සිටි මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දැක පලාගිය ජීප් රථය ලුහුබැඳ ගොස් පරීක්‍ෂා කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවී තිබේ. එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

    හොරොව්පොතාන, මුක්කරවැව ප්‍රදේශයේ නිවාස කිහිපයක කළ සෝදිසියකදී කඩු දෙකක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ රැසක් සොයා ගැණින. කැබිතිගොල්ලෑව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්, පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකාය වැටලීම සිදු කළේය. සැකකටයුතු සංයුක්ත තැටි 96ක්, ලැප්ටොප් පරිගණකයක් හා තවත් පරිගණකයක්, ව්‍යාජ රබර් මුද්‍රා 36ක්, දෘඩාංග තැටි 06ක්, විදේශ ගමන් බලපත්‍ර 19ක් ඒ අතර විය. පොලිසිය ප්‍රකාශ කළේ, එක් පුද්ගලයෙකුගේ නමින් විදේශ ගමන් බලපත්‍ර 10ක් තිබූ බවයි, එම භාණ්ඩ සමඟ කාන්තාවක ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගැණින. එක් අයෙකු තව්හිද් ජමාද් සංවිධානය සමඟ සෘජු සබඳතාවක් ඇති අයෙකු බව පොලිසිය පවසයි. ඔහු පාසල් ගුරුවරයෙක්.

    නාවලපිටිය සේලම්බ්‍රිජ් ප්‍රදේශයේ මහවැලි ගඟේ කුඩා වළක සඟවා තිබූ කඩු දෙකක්, පිහි 06ක් ඇතුළු ආයුධ කිහිපයක් පොලිස් බාරයට ගැණින. නාවලපිටිය පොලිසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අද කළ සෝදිසියකදී මේවා සොයා ගෙන තිබේ. සෝදිසි මෙහෙයුම හේතුවෙන් කිසියම් අයෙකු මෙම ආයුධ ගඟට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

    මැදවච්චිය, සාලම්බපුරම් ප්‍රදේශයේ දී තව්හිද් ජමාද් ත්‍රස්ත සංවිධානයේ බවට සැක කෙරෙන පුද්ගලයෙකු සමඟ ලැප්ටොප් පරිගණකයක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අනුරාධපුර, නාච්චාදූව ප්‍රදේශයේ සිට මාස තුනකට පමණ ඉහතදී සාලම්බපුරම් ප්‍රදේශයට පැමිණ ඇති බව යුද හමුදාව හෙළ කරගෙන තිබේ. ඔහු අදාළ සංවිධානයේ දේශකයෙකු ලෙස ක්‍රියාකර ඇති බව පැවසේ.

    තව්හිද් ජමාද් සංවිධානයේ ක්‍රියාකාරීන් පරිහරණය කළ බව කියන අධිබලැති යතුරු පැදියක්, ගම්පොළ උලපනේ ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. ගම්පොළ පාවහන් වෙළෙඳ සැලකදී අත්අඩංගුවට ගත් අබ්දුල් හක් සහෝදරයන්ගේ ඥාතිවරයෙකු යුරෝපා රටකින් යතුරු පැදිය මෙරටට ගෙන්වා තිබේ. රේගු නිලධාරීන්ට මුදල් ගෙවා හොර රහසේ එය රැගෙන විත් ඇති බව මේ වනවිට හෙළි වී ඇත. පොලිසිය පවසන්නේ, අබ්දුල් හක් සොහොයුරන්ට මාමාවරුන් 05 දෙනෙකු සිට ඇති බවයි. ඉන් අයෙකු ගම්පොළ පාවහන් වෙළෙඳ සැල පවත්වාගෙන ගොස් තිබේ. මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම්වලට මේ යතුරු පැදිය යොදාගෙන ඇති බව හෙළි වී තිබේ. යතුරු පැදිය ලියාපදිංචි කර නොමැති නිසා ව්‍යාංජ අංක තහඩු ඊට යොදා ගන්නට ඇතැයි සැක කෙරේ.

    අනුරාධපුර, අලුත්නුවර මාර්ගයේ පාලු ප්‍රදේශයක තිබී පුපුරණ ද්‍රව්‍ය සහ වෙඩි බෙහෙත් අඩංගු පාර්සලයක් ඊයේ සොයා ගනු ලැබීය. ඒ, අනුරාධපුර පොලිසියට ලැබුණු තොරතුරක් මත. එහි වෙඩි බෙහෙත් ග්‍රෑම් 750ක්, ඩෙටනේටර් 6ක්, ඇතුළු තවත් පුපුරණ ද්‍රව්‍ය තිබූ බව පොලිසිය පවසයි.

    මඩකලපුර, එරාවුර් කලපුව අසල පාළු ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් යුද හමුදාව විසින් සොයා ගෙන තිබේ. ටී-56 ජීව උණ්ඩ 350ක්, අත් බෝම්බ දෙකක් ද ඒ අතර තිබූ බව අප වාර්තාකරු පවසයි. අත්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට යුද හමුදාව ක්‍රියා කළේය.

    මේ අතර මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී පොලිසිය කළ මෙහෙයුමකදී එරාවුර්, එරාවුර් පත්තු, පදියතලාව, මහඔය ප්‍රදේශවල රජයේ කාර්යාල 25ක ව්‍යාජ ලෙස සැකසූ නිල මුද්‍රා, ලැප්ටොප් ඇතුළු ලිපි ලේඛන තොගයක් සොයා ගෙන තිබේ. ඒ අතර, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, ග්‍රාම නිලධාරීන්ගේ සහ අඩවි වන නිලධාරීන්ගේ මුද්‍රා ද තිබූ බව අප වාර්තාකරු පවසයි.

    Latest News