නීති විරෝධි වෙඩි බෙහෙත් විනාශකාරි කටයුතුවලට භාවිතා කරන්නන්ට නීතිය තදින්... නාවික හමුදාපති

මැයි 01, 2019

    නීති විරෝධි අන්දමින් වෙඩිබෙහෙත් ලබා ගන්නා පුද්ගලයින් නීති විරෝධි මසුන් මැරීමේ සිට ඉතාමත් ව්‍යසනකාරී ක්‍රියාවන් සඳහා යොදාගන්නා බව ද නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියාල් සිල්වා පවසයි.

    ශ්‍රී ලංකාව තුල වෙඩිබෙහෙත් නිෂ්පාදනය කරන සහ බෙදාහරින පාර්ශවකරුවන් සමඟ හමුවක් නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකිදි ඔහු මේ බව කියා සිටියේය.

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිවිල් ආරක්‍ෂාව සහ සංවර්ධනය පිළිබඳ අතිරේක ලේකම් ඩග්ලස් මහතා, “කැළණි ‍ෆයර් ව(ර්)ක්ස්” ආයතනයේ නිලධාරින්, රජයේ වෙඩි බෙහෙත් ගබඩාවේ නිලධාරීන්, පුපුරණ ද්‍රව්‍ය පාලකවරුන් සහ බෙදාහරින්නන් අතුලු පිරිසක් එක්ව සිටියේය. වර්ථමානයේ පවතින වාතාවරණය හමුවේ නීති විරෝධි වෙඩි බෙහෙත් භාවිතයෙන් ඇති විය හැකි අනිසි ප්‍රතිවිපාක පිළිබඳව ඔවුන් දැනුවත් කෙරිණ.

    ඒඅනුව, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමා පවසා සිටියේ ශ්‍රී ලංකාව තුල පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනිම සඳහා නිසි ක්‍රම වේදයක් මගින් රජයේ බලපත්‍ර ලාභී පාරිභෝගිකයින්ට පමණක් රජයේ වෙඩි බෙහෙත් ගබඩාවෙන් පමණක් නිකුත් කරන බවයි. බලපත්‍ර ලාභී වෙඩි බෙහෙත් බෙදාහරින්නන් මඟින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙඩිබෙහෙත් පිටස්තර පුද්ගලයින් අතට පත්වන බවත් ඔහු පෙන්වා දුනී. එසේ ලබා ගන්නා වෙඩිබෙහෙත් නීති විරෝධි මසුන් මැරීමේ සිට ඉතාමත් ව්‍යසනකාරී ක්‍රියාවන් සඳහා යොදාගන්නා බව ද නාවික හමුදාධිපති විසින් අවධාරණය කර සිටියේය.

    ජෙලග්නයිට් වලට ආදේශකයක් ලෙස භාවිතා කරන වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ගල් වැඩපලවල් සඳහා බලපත්‍ර හිමි පාලකවරු හරහා බෙදා හැරිම සිදුවේ. නීති විරෝධි ලෙස ලඟ තබාගත් වෝටර්ජෙල් විශාල ප්‍රමාණයක් පසුගිය කාලයේදි අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. මේ අනුව 2017 වසරේ කිලෝග්‍රෑම් 59 ක්, 2018 කිලෝග්‍රෑම් 94 ක් සහ 2019 වසරේ මේ වනවිට කිලෝග්‍රෑම් 72 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

    පාස්කු ඉරු දින එල්ළ කළ මැරෙන ප්‍රහාරයේ ත්‍රස්තයන්ට සම්බන්ධ ස්ථානයන් වැටලීමේදී වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්‍ෂක අංශ සහ පොලිසිය විසින් සොයාගෙන තිබේ. නීති විරෝධි අන්දිමින් පුපුරණ ද්‍රව්‍ය පිටස්තර පුද්ගලයින්ට ලබා දීමට කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉතා දැඩි ක්‍රීයාමාර්ග ගැනීමට කටයුතු කරන බව නාවික හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණ.

    Last modified on බදාදා, 01 මැයි 2019 18:56

    Latest News