වැඩ කරන ජනතාවගේ මැයි දිනය අදයි

මැයි 01, 2019

    ලොව පුරා ලොව පුරා වැඩ කරන ජනතාව අද(01) ලෝක කම්කරු දිනය සමරති.

    ශක්ති, සමගිය, සටන්කාමීත්වය විදහා දක්වමින් සිය අයිතිවාසිකම් තහවුරු කර ගැනීම අරමුණු කරගෙන වැඩ කරන ජනතාව මැයි දිනයේ දී පෙළගැසෙති.

     

    1886 මැයි පළමු වැනිදා අමෙරිකාවේ චිකාගෝ නගරයේ දී දිනකට පැය අටක වැඩ මුරයක් ඉල්ලා කම්කරුවෝ උද්ඝෝෂණය කළහ. මැයි 3 වැනිදා ඒ කම්කරුවන් විසුරුවා හැරීමට චිකාගෝ පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. එහි දී කම්කරුවන් 6 දෙනෙකු මියගිය අතර පනස් දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබූහ.

    එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් 1886 මැයි 4 වැනිදා පැවති යෝධ කම්කරු පෙළපාලිය අවසන් වූයේ චිකාගෝ නගරයම රුධිරයෙන් තෙත් කරමිනි. එදා කම්කරු අරගලයේ දිවිපිදූ පිරිස සිහිපත් කරමින් ලොවපුරා වැඩකරන ජනතාව 1890 සිට මැයි දිනය සැමරති. 1933 දී මෙරට පළමු කම්කරු දින සමුළුවේ එවක කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එස් . ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1956 දී මැයි දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

    ලොවපුරා කම්කරු ජනතාව අද දිනයේ විවිධ සැමරුම් උත්සව සංවිධානය කර තිබේ. එහෙත් පසුගියදා අප රටේ ඇතිවූ ව්‍යසනය හේතුවෙන් මෙරට ප්‍රධාන මැයි රැළි කිසිවක් නොපැවත්වීමට තීරණය කර ඇත. ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් පමණක් කම්කරු දින සැමරුම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

    Last modified on බදාදා, 01 මැයි 2019 08:53

    Latest News