මහින්දානන්දට එරෙහි නඩුව විශේෂ මහාධිකරණ 2කට

අප්‍රේ 30, 2019

    ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල යළි අගෝස්තු මස 27 වනදා කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළව විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා අගවිනිසුරුවරයාගේ විධානය ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.

    පසුගිය නඩු දිනයේදී අල්ලස් කොමිසම සඳහන් කළේ මෙම කරුණම බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම කටයුතු මෙතරම් ප්‍රමාද වීම අනුමත කළ නොහැකි බව කියා සිටියි.එම නිසා මෙම නඩුව සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීනියට දැනුම් දුන්නේ. ඒ අනුව නඩුව නැවත අගෝස්තු මස 27 වනදා කැඳවන මෙන් නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුනි.

    පසුගිය ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා රුපියල් කෝටි 5 කට ආසන්න ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 11:58

    Latest News