"සාමය ආරක්ෂා කිරීම ගැන සමස්ත ජනතාවට ස්තුතිවන්ත වනවා" - රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය

අප්‍රේ 28, 2019

    අනවශ්‍ය කතාවලට සම්බන්ධ නොවී සාමය ආරක්ෂා කිරීම ගැන සමස්ත ජනතාවට ස්තුතිවන්ත වන අතර අන්තවාදීන්ට එරෙහි සටන ජයග්‍රහණය කරන බව ජනමාධ්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ප්‍රකාශ කරයි.

    මේ වනවිට සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. ඊයේ (27) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා.....

    "අනවශ්‍ය කතාවලට සම්බන්ධ වෙලා කටයුතු නොකළ නිසා සමස්ත ජනතාවටම ස්තූතිවන්ත වනවා. ජනතාවට ප්‍රශංසා කරන්න ඕනේ මොකද රටේ සාමය ආරක්ෂා කිරීමට අපේ ත්‍රිවිද හමුදාවටත් පොලිසියටත් ඒ අවශ්‍ය ශක්තිය සහ සහයෝගය ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කියන්න ඕනෙ මුස්ලිම් ජනතාව, මේ දින ටිකේම හමුදාවේ බුද්ධි අංශයටත් පොලීසියටත් අවශ්‍ය තොරතුරු ලබා දීල තියෙනවා. ඒ තොරතුරු නිසා තමයි වැටලීම් ගණනාවක් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. සමස්ත ජනතාවට මම අපි කියන්නේ මේ අපරාධවලට සම්බන්ධ අය අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා. මේ තියෙන සංවිධාන ටික අනිවාර්යෙන් තහනම් කරන්න දැනටමත් ජනාධිපතිතුමා පියවර ගනිමින් සිටිනවා. දැනට පොලීසියත් ත්‍රිවිද හමුදාවත් විශේෂයෙන්ම බුද්ධි අංශ සමග කටයුතු කරමින් යනවා. සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තව දින කිහිපයකින් රට යථාතත්වයට පත් කිරීමට හැකිවේ යැයි විශ්වාස කරනවා. මේ අපරාධවලට සම්බන්ධ අයට නීතියමය මාර්ගයෙන් අනිවාර්යෙන් දඬුවම් කරනවා."

    Latest News