දැනට පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් වන ලකුණු

අප්‍රේ 26, 2019

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පීඩන අවපාතය ඉදිරි පැය 24 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පසුව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යැයි බලාපොරොත්තු වේ.

    තවද එය නැගෙනහිර වෙරළ තීරය ආසන්නයෙන් වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂ කෙරේ. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෙම පීඩන අවපාතය අද(26) සවස 02.00 වන විට පොතුවිල් සිට ගිනිකොණ දෙසින් 950km පමණ දුරින් උතුරු අක්ෂාංශ 2.8 ත් නැගෙනහිර දේශාංශ 89.7 ත් ආසන්නව ස්ථානගතව පවතී.

    ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත. බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට 75mm පමණ තරම තද වර්ෂාපතනයන් ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ඒ අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    එමෙන්ම කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ද මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 17:19

    Latest News