විමර්ශන සඳහා බ්‍රිතාන්‍ය කණ්ඩායමක් ළගදීම; තෙරේසාමේ අගමැතිට කියයි

අප්‍රේ 24, 2019

    තමන් වරෙක මුහුණදුන් අවාසනාවන්ත අත්දැකීමට සමාන අවස්ථාවකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති බවත්, ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබාදීමට සූදානම් බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ඊයේ (23) රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනය ඔස්සේ අමතමින් ප්‍රකාශ ක‌ෙළේය.

    විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙත ශෝකය පළ කිරීම සම්බන්ධයෙන් තෙරේසා මේ මහත්මියට අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළ කර සිටියේය. මෙම ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට සහාය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද එතුමිය සඳහන් ක‌ෙළේය.

    පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24) උදෑසන රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතා පසුගිය දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කළේය. ත්‍රස්තවාදය හේතුවෙන් පාකිස්තානු වැසියන් 70,000 ක් පමණ ජීවිතක්‍ෂයට පත්ව ඇති බව සඳහන් කළ ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ත්‍රස්ත ක්‍රියා මැඩලීම වෙනුවෙන් සිය සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බව ද ප්‍රකාශ කර සිටියේය.

    අත්‍යවශ්‍ය මොහොතක මෙසේ උපකාර කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙරටේ දිගු කාලීන මිත්‍රත්වය ආරක්‍ෂා කරලීම උදෙසා දිගින් දිගටම කටයුතු කිරීම පිළිබඳව පකිස්තානු අගමැතිවරයාට සිය ප්‍රශංසාව පළ කළේය.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 16:35

    Latest News