තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර

අප්‍රේ 21, 2019

    දිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූවන්ට නොමිලේ ප්‍රතිකාර කිරීමට පෞද්ගලික රෝහල් සංගමයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇත.

    ඒ අනුව තුවාල ලැබූවන් රෝහල් ගත වුවහොත් නොමිලේ ප්‍රතිකාර කිරීමටත්, සැත්කම් සිදු කිරීමටත්, පෞද්ගලික රෝහල් එකඟත්වය පළ කර තිබේ. මෙවැනි අවස්ථාවක මුදලට වහල් නොවී පෞද්ගලික රෝහල් තම ඉල්ලීමට මෙලෙස ප්‍රතිචාර දැක්වීම ගැන ස්තූතිය පුද කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

    මේ අතර, තුවාල ලැබූවන් සදහා අවශ්‍ය රුධිරය ප්‍රමාණවත් තරම් පවතින බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ජාතික රුධිර පාරවිලයන සේවයේ රුධිර සංචිත ප්‍රමාණවත් බවත්, ඔවුන්ට ප්‍රතිකාර කිරිම සදහා කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල, සහ මීගමුව දිස්ත්‍රීක් මහ රෝහලට අවශ්‍ය තරම් රුධිරය ලබාදුන් බව ද අමාත්‍යවරයා සදහන් කරයි.

    බෝම්බ පිපිරීමෙන් පසු රුධිරය ලබාදීම සදහා ජනතාව කඩිනමින් නාරාහේන්පිට පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ සිටියහ. ඔවුන් ලියාපදිංචි කර ගැනීමෙන් අනතුරුව අවශ්‍ය තරම් රුධිරය ලබාගන්නා ලදි. ඉදිරියේ දී රුධිරය ලබාගැනීමට අවශ්‍ය වුවහොත් නැවත දැනුම්දීමට පියවර ගන්නා බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

    Latest News