පියපුතු පදනම මත 123 දෙනෙකුට නව ලංවිම පත්වීම්

අප්‍රේ 18, 2019

    රාජකාරියේ යෙදී සිටියදී ජීවිත අහිමිවන ලංවිම සේවකයන් වෙනුවෙන් පවුලේ සාමාජිකයෙකුට සුදුසුකම් මත ලං.වි.ම. රැකියා අවස්ථා වැඩි කර ඇත.

    ලංකා විදුලිබල මණ්ඩලයේ 10% ක් වූ පියපුතු පදනම මත රැකියා ලබාදීම 12.5% දක්වා ඉහළට දමා තිබේ. ලං.වි.ම.ට වසර 50 ක් සපිරීම නිමිත්තෙන්, පියපුතු පදනම මත සේවක පවුල් සාමාජික සාමාජිකාවන්ට ලංවිම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් සිදුවිය.

    "ලංකා විදුලිබල මණ්ඩලය මේ රටේ යටිතල පහසුකම් සදහා විශේෂ තත්ත්වයක් ලබාදීලා තිබෙන්නේ. මෙම ආයතනයේ සේවය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. පිරිසක් කාර්යාල තුළ සේවය කළත්, තවත් පිරිසක් දැඩි වගකීමක් සහිත අවදානම් කාර්යයන්වල නිරතවෙනවා. මෙසේ අවදානම් රාජකාරිවල නිරතවන පිරිස, සිය රාජකාරි කාලසීමාව තුලදි ජීවිතක්ෂයට පත්වූ අවස්ථා බොහෝමයක් තිබෙනවා. එසේ රාජකාරිය අතරතුර එමගින් අනතුරට ලක්වී ජීවිත අහිම්වන සේවක පවුල්වල දරුවෙකුට සුදුසුකම් මත ලංවිම රැකියා අවස්ථාවක් ලබාදීම අද සිට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම 2015 ජනවාරි මස සිට ලංවිම සේවයේ යෙදී සිටියදී රාජකාරි සම්බන්ධයෙන් එවැනි අභාග්‍යසම්පන්න මරණ වලට ලක්වූ අය සිටීනම්, ඒ පිළිබදව සොයා බලා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෙක් වෙනුවෙන් රැකියා අවස්ථාවක් ලබාදෙන ලෙස මම ලංවිම පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිනවා" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අවදාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් සපීරීම නිමිත්තෙන්, එහි වසර 30 කට අධික කාලයක සේවය කළ සේවකයින්ගේ දරුවන් වෙනුවෙන් පියපුතු පදනම යටතේ රැකියා ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පිළියන්දල පුහුණු කිරීම් ආයතනයේදී මෙසේ පත්වීම් ලිපි ලබාදීම සිදු කෙරිනි. මෙහිදී සේවක දරුදැරියන් 123 ක් වෙනුවෙන් අමාත්‍යවරයා අතින් පත්විම් ලිපි ප්‍රදානය කෙරිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    "අද විදුලිබල මණ්ඩලයේ ස්ථිර සහ අනියම් වශයෙන් සේවකයින් තිස්එක් දහසක් පමණ සිටිනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවන් සදහා පුදුමාකාර ඉල්ලුමක් තිබෙන්නේ. එක ආයතනයකට මෙවන් ඉල්ලුමක් තිබෙනවා මම මීට පෙර දැකලා නැහැ. පිටස්තර ලෝකයා අන්න ඒ වගේ යහපත් ආකල්පයක්, දැඩි විශ්වාසයක් තමයි ලංකා විදුලිබල මණ්ඩලය ගැන තිබෙන්නේ. එවන් වූ ආයතනයක් වසර 50 ක් සපුරන මෙම අවස්ථාවේ, එහි වසර 30 කට අධික කාලයක් සිය ශ්‍රමය කාලය කැප කරමින් කෙරූ සේවයට උපහාරයක් වශයෙන් පියපුතු පදනම යටතේ තමන්ගේ දරුවෙකුට සුදුසුකම් මත මෙම ආයතනයේ රැකියා අවස්ථාවක් ලබාදීම තමයි අද මේ සිදුකරන්නේ. මෙම පියපුතු පදනම මත රැකියා ලබාදීම මේ දක්වා 10% ක ප්‍රමාණයක් තමයි තිබණේ. මෙම ප්‍රමාණය මම 12.5% දක්වා වැඩි කරනවා.

    මට පෙනෙන ආකාරයට 1969 ආරම්භ කළ ලංකා විදුලිබල මණ්ඩලය, එදා සිට අද වනතෙක් හිතන ආකාරය කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. එදා ආරම්භ කළ වැඩපිළිවෙලම අද ගෙනියනවා. කිසිම නවීකරණයක් සිදුවෙලා නැහැ. කොහොමද ආයතනයක් මේ විදියට ඉදිරියට යන්නේ. මේ දේවල් වෙනස් කළ යුතුයි. හොදම උදාහරණය තමයි අපි නිවාස වලට අළුතින් විදුලි සබදතා ඉල්ලුම් කළාම, ඒ ගැන සොයා බලලා, ඒක ලබාදෙන්න මාසයක් විතර යනවා. ඒ වගේම මාසයක් ගානේ අපේ මනු කියවන්නෝ ගෙවල් ගානේ ගිහින් මීටරය කියවගෙන එනවා බිල සකස් කරන්න. නමුත් මේ දේ ගෙවල් ගානේ නොගිහින් සුහුරු මනු මගින් කාර්යාල තුළ ඉදලම කරන්න දැන් නවීන ක්‍රම තිබෙනවා. එවැනි දේවල් ගැන සොයා බලා අපි වෙනස්කම් ඇතිකළ යුතුයි. තවමත් අපි ගල් යුගයේ ජීවත් වෙනවාද නැතිනම් ඉදිරියට යනවාද කියලා අපි දැන් තීරණය කල යුතුයි. අපි වෙනස්වන ලෝකයත් සමග ඉදිරියට යන්නනම්, ඒ ආකාරයෙන් අපිත් වෙනස්විය යුතුයි.

    මම දවස් 89 කට කළින් බාර ගත්තේ නොදන්නම ක්ෂේත්‍රයක්. බාරගත්තාට පස්සේ තමයි දන්නේ ගිනි බෝලයක් බාරගත්තේ කියලා. ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ ජනතා සේවයක් සපයන විශිෂ්ඨ ආයතනයක් කියලා අපි මාස 03 ක් යනකොට ජනතා සිත් තුළ ඇතිකරනවා. අපි දින 23 කට විදුලි කප්පාදුවක් සිදුකළා අඛණ්ඩ සේවයක් සපයනවා කියලා පොරොන්දුවක් දීලා කටයුතු කළානම් කොහොමද මේ වෙනස ඇති වුණේ. මේකට පිළිතුරු සෙව්වොත්, එන්නේ එකම තැනකට. ඒ තමයි රජයෙන් නිවැරදි තීන්දුවක් ගත්තේ නැහැ කියලා. අපේ වැය ශීර්ෂය අවස්ථාවේදි කාටවත් දොස් කියන්නේ නැතිව, ඉතිහාසයේ සියලුම පව් මගේ කරපිටට අරගෙන මම කිව්වා උන දේ උණා, මින් පස්සේ එන විදුලිබල ඇමතිවරයෙකුට කිසිම ගැටළුවක් මතුනොවන විදියට අඩිතාලමක් තියනවා කියලා. වැරැද්ද වෙනකෙනෙක්ට පවරන එක හරිම ලේසියි. ඒ විදියට ගියාම වසර ගණනාවක් තිස්සේ හිටිය සියලුදෙනාටම වැරැද්ද පැටවෙනවා. නමුත් මින්පසු ඒ විදියට කිසිම කෙනෙක් වගනොකියන විදියට වැඩ කරන එක මගෙත් ඔබගේත් වගකීමක් මෙන්ම යුතුකමක්. ඒ අභියෝගය අපි භාරගන්නවා. මේක තමයි නවීකරණය. ඒ අනුව වැඩකරලා තමයි අපි විදුලි කප්පාදුව නැවැත්තුවේ. ඒ නැවැත්වීම කෘතීමව කරන්න බැහැ. විදුලි ඉල්ලුම කොපමණද, කාර්යබහුල වේලාවන් මොනවාද, ඒ වේලාවන්වල ඉල්ලුම කොපමණද, කාර්යභහුල වේලාවන් වල සැපයුම ලබාදෙන්නේ කොහොමද කියලා අපි සොයා බැලිය යුතුයි. විනිවිදභාවයෙන් ගමන් කිරීම තමයි අපට අවශ්‍ය වන්නේ. සෑම ඒකකයකින්ම යම් මුදලක් අඩුවනවා කියන්නේ විදුලිබල මණ්ඩලයට බිලියනයක් පමණ ඉතිරි කිරීමක්. අපි සිතිය යුත්තේ දේශපාලඥයින් වශයෙන් නොවෙයි, රාජ්‍ය තාන්ත්‍රිකයන් වශයෙනුයි. දේශපාලඥයෝ මේ රටේ ඕනතරම් ඉන්වා. එයාලා හිතන්නේ එන ඡන්දය ගැන පමණයි. නමුත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් හිතන්නේ එන වසර 20 ගැන. අන්න ඒ ආකාරයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිතියයුතු කාලය දැන් එළඹිලා.

    විදුලිබල මණ්ඩලයේ පැවැත්ම තිබෙන්නේ ලක්ෂ 67 ක් වන පාරිභෝගික ජනතාව නිසයි. ඒ අය විදුලි බිලක් ගෙව්වේ නැත්නම් ලංවිමට ඉදිරියට යාමක් නැහැ. මේ වනවිට යාපනය ප්‍රදේශයේ පැය 24 ක් ඇතුලත ගෘහස්ත විදුලි ඉල්ලුමක් සපුරාලනවා. මේ ක්‍රමය සමස්ත දිවයින පුරාම ව්‍යාප්ත කරන්න ඇයි බැරි. කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි ඉල්ලුමක් ලබාදෙන්න ලංවිමට මේ වනවිට මාස ගණනාවක් ගතවෙනවා. මේ ක්‍රමය වෙනස් කරලා, නව විදුලි ඉල්ලුම් හැකි ඉක්මණින් ලබාදීමට කටයුතු කළ යුතුයි" යැයි පැවසීය.

    Latest News