කංජිපානිගේ ගෝල ෆයිසාර් රඳවා ප්‍රශ්න කිරිමට නියෝගයක්

අප්‍රේ 09, 2019

    මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි අත්අඩංගුවට පත්ව, පිටුවහල් කිරිමෙන් පසු අත්අඩංගුවට පත් මොහොමඩ් නසීම් ෆයිසාර්ව පැය 24ක් රඳවා ප්‍රශ්න කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ විසින් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට අද අවසර ලබාදුනී.

    ඊයේ අලුයම යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් කොළඹ10, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් හා කොළඹ 10, ජුම්මා මස්ජිත් මාවතේ පදිංචි 30 හැවිරිදි මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් යන සැකකරුවන් මෙරටට පැමිණියේය. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමෙන් පසු අත් අඩංගුවට ගෙන ඊයේ පස්වරුවේ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට බාරදෙනු ලැබිණ.

    කොළඹ අපරාධ පොලිස් කොට්ඨාසය විසින් මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී කොළඹ ප්‍රධානෙ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් වයි.ආර්.බී. නෙළුම්දෙණිය මහතා විසින් ඔහුව රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබාදුනි. මොහු මාලිගාවත්ත ප්‍රදේශයේ නමගිය පාතාල කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ලෙස හැඳින්වේ.

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 17:31

    Latest News