ප්‍රජාත්න්‍ර විරෝධී කුමන්ත්‍රණය බලාපොරොත්තු බින්දා; දැන් රට නව මඟකට

අප්‍රේ 05, 2019

    වසර තුනක් පාලනය කිරීමෙන් පසු ජනතාවට සහන සැලසෙන සහ රටේ සංවර්ධනය ඉලක්ක වූ අය-වැයට පසුගිය වසරේ ඔක්තෝබර් සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයෙන් බලපෑම් එල්ල වූ බව, මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    එම දේශපාලන කුමන්ත්‍රණය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දින 51ක කාලයක් බලපෑම් එල්ල වූ බව ද, අදපාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍යාංශ අය-වැය විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේය. වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ස්ථාපිත කළ සෑම යාන්ත්‍රණයක්ම මේ වනවිට නිසි පිළිවෙළකට ක්‍රියාත්මක වන බවද ඔහු පෙන්වා දුන්නේය.

     

    පළමුවෙන්ම මතක් කරන්න කැමතියි අද මේ විවාදය පවත්වන්න සිද්ධ වුණේ යම් අසාමාන්‍ය සිදුවීම් පෙළක් නිසා බව.

    ඔක්තෝබර් 26 වෙනිදා නීත්‍යානුකූල රජය කිසිම වගවිභාගයක් නැතුව පෙරළලා දාපු වෙලාවක අපි 2019 අයවැය තුළින් ඉදිරිපත් කරන්න සැලසුම් කරපු ගොඩක් දේවල් සම්පූර්ණයෙන් කඩාකප්පල් වුණා. ඇතිවූ තත්ත්වය නිසා ගෙවන්න තිබුණු විශාල විදේශී ණයත් ඒ වගේම රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධක දීමනා වගේ ජනවාරි මාසේ නියමිතව තිබුණු රාජ්‍ය වියදම් ගෙවීමේ අභියෝගය මතුවුණා.

    දවස් 51 ක් ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක් ආපු වෙලාවක ගරු අධිකරණයත්, අප රජය විසින් ස්ථාපිත කළ ස්වාධීන ආයතනත්, ඒ වගේම මහජනතාවත්, පුද්ගලිකව ඔබතුමාත්, පාර්ලිමේන්තුවත්, එකාවන්ව එක්වී සෛවරී ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් සිදු කළ මහා අරගලයක ප්‍රතිඵලයක් විදියට නැවතත් නීත්‍යානුකූල ආණ්ඩුව පිහිටෙව්වා. දේශපාලන බලය නැවත අත්කර ගත්තත් 2018 දෙසැම්බර් වෙන කොට අරාජික තත්ත්වය නිසා රටේ ආර්ථිකය ඉබාගාතේ යන තත්ත්වයකට පත්වෙලා තිබුණා. ක්‍රමිකව මහන්සියෙන් 2015 ඉඳන් ගොඩනඟපු ආර්ථික පදනම දෙදරා ගියා. නමුත් ඉතාම කෙටි කාලයකින් නැවතත් ආර්ථිකය යථා පරිදි නිසි මගට ගැනීමට මේ වෙන කොට අපිට හැකිවෙලා තිබෙනවා.

    කැපවීමෙන් ගොඩනඟා ගත්තු ආර්ථික ශක්තිය අද වෙනකොට ජනතාවට යහපත් ප්‍රතිඵල අත්කර දෙමින් තියෙනවා. අරාජික දින 51 දී පිටරටට ඇදිල ගිය රුපියල් බිලියන 57 ක මුදලින් ජනවාරි ඉඳලා මේ වෙන කොට රුපියල් බිලියන 10 ක් ආපහු විදේශ ආයෝජන වශයෙන් රජයේ සුරැකුම්පත්වලට ලැබිලා. ඒ විතරක් නෙමෙයි. 2018 දී ඩොලර් මිලියන 2300 ක ඉතිහාසයේ වැඩිම විදේශ ආයෝජන මෙරටට ලැබුණා. දැන් වෙනකොට ලෝකයේ වඩා හොඳින්ම විනිමය මුදල් වර්ග තුන තුළ රුපියල ස්ථානගත වෙලා තියෙනවා. ඒක 4.5‍ක අනුපාතය ඉහළ යෑමක්.

    2018 දෙසැම්බර් වෙන කොට ලංකාවට ණය ලබාදුන් ජාත්‍යන්තර පොළී අනුපාතිකය 11.25ක් ඉඳල අද වෙනකොට 10.15ක් දක්වා අඩුවෙලා තියෙනවා. මේ හේතුවෙන් රටේ ව්‍යාපාරික සහ පාරිභෝගික දෙපිරිසේම වියදම් අඩුවෙනවා. අද වෙනකොට රට තුළ උද්ධමනය 2.4‍ ක අවම මට්ටමක පවතිනවා.

    මේ වගේ ශක්තිමත් ආර්ථික පසුබිමක අපිට විදේශ ණය ගෙවන්න ඕන කරන මුදල් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොළෙන් පහසුවෙන් ලබාගන්න හැකිවෙලා තියෙනවා. දින 51 අර්බුදය කාලේ තුන් වතාවක් ජාත්‍යන්තර වර්ග කිරීම්වල ලංකාව පහත දැම්මා. ඒකෙන් රටක් විදිහට අපි ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානමකට ලක්වුණා. රජය නැවත භාරගත්තට පස්සෙ අපිට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ විශ්වාසය දිනාගෙන වාසිදායක කොන්දේසි යටතේ මූල්‍ය සම්පත් ලබාගන්න හැකි වුණා.

    ගරු කථානායකතුමනි,

    සමස්ත ආර්ථිකය නැවත ස්ථාවර කරගැනීමෙන් පස්සෙ මේ මොහොතේ රටේ ප්‍රමුඛතාවය තමයි ඉහළ ආර්ථික වර්ධනයක් අත්කරගැනීම. සුළු පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ රුපියල් බිලියන 70 කට වැඩියෙන් අද වෙනකොට සහන ණය ලබාදීලා තියෙනවා. ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය නව ජවයකින් පුබුදුවා ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක වෙන ගම්පෙරළිය නිසා ගමේ පාරවල් සුළු පරිමාණ වාරි කර්මාන්තල පොළවල්, ආගමික ස්ථාන වගේම අනෙකුත් යටිතල පහසුකම් ඉක්මන් සංවර්ධනයක් අත්කර ගනිමින් පවතිනවා. ගම්පෙරළියෙන් ග්‍රාමීය ආර්ථිකයට දැවැන්ත මූල්‍ය ශක්තියක් ලබාදෙනවා. ඒ වගේම ගෝලීයව රටපුරා සිදුවන සංවර්ධනය හරහා ගම් නියම්ගම් එකිනෙකට බද්ධ කරලා ස්වාභාවික ආපදාවලට ඔරොත්තු දෙන, ආර්ථික වශයෙන් සඵල යටිතල පහසුකම් ජාලයක් රටපුරා හැදෙමින් තියනවා.

    මහ බැංකුවත්, ග්‍රාමීය ආර්ථිකයට තව තවත් ශක්තිය ලබාදෙමින් රුපියල් බිලියන 150 ක් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීමෙන් රටේ ආර්ථිකයට එක් කරලා තියෙනවා. දින 51 නිසා ගෙවාගන්න බැරුව තිබුණු කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් සහ අනෙකුත් නොපිය වූ මුදල් මේ වෙන කොට මහා භාණ්ඩාගාරය සම්පූර්ණයෙන් පියවා හමාරයි. රටේ සමස්ත ආර්ථිකයේ ක්‍රියාකාරකම් එමඟින් තවදුරටත් සක්‍රීය වෙලා තියෙනවා. පහුගිය තුන් මාසේ ඇතුළත මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 70 ක් ගෙවීම් කළා. ඒ හරහා රජය මෑත කාලයේ දී රුපියල් බිලියන 300 ක් පමණ ආර්ථිකයට නිදහස් කරලා තියෙනවා. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 2‍%ර විතර වෙනවා.

    ගරු කථානායකතුමනි,

    කෙටිකාලීන ආර්ථික කටයුතු දිරිගන්වන අතරේ අපි දිගුකාලීන වැඩපිළිවෙළකුත් ක්‍රියාවට නංවනවා. මෙවර අයවැයෙන් ආනයන බාධක ඉවත් කිරීමේ තවත් ඉදිරි පියවරක් තබමින් ආනයනික භාණ්ඩවල අනවශ්‍ය තීරු බදු ඉවත් කළා. සාර්ව ආර්ථිකයේ අවිනිශ්චිත භාවය නැති කරන්න දිගුකාලීන විසඳුමක් විදියට ඉදිරියේ දී නව මූල්‍ය පනතක් ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්ෂුද්‍ර ණය කළමනාකරණයට නව ණය නියාමන අධිකාරී පනත ඉක්මණින් හඳුන්වලා දෙනවා. යල්පැනගිය නූතන ලෝකයට නොගැළපෙන නීතිරීති වෙනස් කරමින් 21 වෙනි සියවසට ගැළපෙන නව නීති ඇති කිරීමේ කටයුතු අපි ඉදිරියට ගෙනියනවා.

    ගරු කථානායකතුමනි,

    ආර්ථිකයේ පදනම සවිමත් කරන අතර අපි ජනතාවාදී සුබසාධන කටයුතු තවතවත් වැඩි කරනවා. අධ්‍යාපනය වගේම සෞඛ්‍ය අංශය වෙනුවෙන් විශාල මුදලක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා. විපක්ෂය එදා දැඩිව විරුද්ධ උන සුවසැරිය ගිලන් රථ සේවය අද මේ රටේ මහජන සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා ඉවරයි. වසර 13 ක අනිවාර්ය අධ්‍යාපන වැඩසටහන ඒ වගේම විෂයමාලා සංවර්ධනය ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අතිවිශාල මුදලක් අයවැයෙන් වෙන් කළා.

    අපේ ඉන්න දක්ෂතම දරු දැරියන්ට ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඉගෙන ගෙන ඇවිත් රටට සේවය කිරීමේ අවස්ථාව අපි විවර කරලා දෙනවා. සුහුරු පන්ති කාමරවලට නූතන තාක්ෂණික පහසුකම් ලබාදෙනවා. රටේ ඊළඟ පරම්පරාව ලෝකයේ තිබෙන ඕනෑම වෘත්තියක තරඟ කළ හැකි දක්ෂයන් බවට පත්කිරීම අපේ අරමුණ. පහුගිය ආණ්ඩුව වගේ රටේ සල්ලි ටික ඔක්කොම හිස් ගුවන්තොටුපළවල්ල නැව් නැති වරායවල් හදන්න දානවා වෙනුවට සැබෑ ජනතා සංවර්ධනය වෙනුවෙන් මානව සම්පත අපි දියුණු කරනවා.

    ගරු කථානායකතුමනි

    අපි සමාජයේ කාගේවත් අවධානය යොමු නොවන ජන කොටස් ශක්තිමත් කිරීමේ පියවර අරන් තියෙනවා. ආබාධිත ජනතාව සේවා නියුක්තියට ඈඳෑ ගැනීමට ඔවුන් සඳහා විශේෂ වැටුප්, ආධාර ලබාදීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා. ස්වාභාවික ආපදාවලට මුහුණදීමටත්, ඒවායේ හානි ප්‍රතිපූර්ණය කිරීමටත් රුපියල් බිලියන 10 ක් වෙන් කළා. ස්වාභාවික ආපදා රක්ෂණය සක්‍රීය කළා, ලොකු ව්‍යසනයක් ආවොත් හානි වෙනුවෙන් රක්ෂණ වන්දි ගෙවන්නත් පුළුවන්.

    මේ රටේ තවමත් දරිද්‍රතාවයෙන් ගොඩ එන්න බැරි විශාල ජනතාවක් ඉන්නවා. ඔවුන්ගේ දේශපාලන පසුබිම නිසා සමෘද්ධි ව්‍යාපාරයෙන් දිගු කාලයක් ඔවුන්ව කොන් කරලා තිබ්බා. ඒ ජනතාවටත් ඉදිරියේ දී සමෘද්ධි ලබාදෙනවා. අපි සමෘද්ධියේ දේශපාලන න්‍යාය පත්‍රය අයින් කළා විතරක් නෙමෙයි මෙතුවක් සමෘද්ධිලාභීන්ට කවදාවත් නොදුන් ඔවුන්ගේ බැංකු ඉතිරි කිරීම් ආපසු ලබාදෙන්නත් පියවර ගත්තා.

    අපි පහුගිය අවුරුද්දෙ අයවැය ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ අංශයක් මහා භාණ්ඩාගාරයේ ස්ථාපිත කළා. මේ වෙන කොට 2018 අයවැයෙන් යෝජිත යෝජනා 25‍ සම්පූර්ණයෙන් හමාර වෙලා. 65‍ක්‍රියාත්මකයි. 8‍ ක් පමණක් නොකෙරී පවතිනවා. පවතින දුර්වලතා තේරුම් අරන් අපි මෙවර අයවැයේ පසු විපරම් සඳහා පුද්ගලික අංශයේ සහභාගිත්වය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.

    ගරු කථානායකතුමනිල

    ඒ වගේම අයවැය කියන්නෙ හුදු ආදායම් වියදම් ප්‍රකාශයක් නෙමෙයි. එහි වෙනත් වටිනාකම් ගැබ්වෙලා තියෙනවා. අපේ රජය ආර්ථික වර්ධනය සහ ප්‍රතිසංස්කරණවලට මුල්තැන දෙන අතරේ ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් මෙන්ම සමාජ යටිතල පහසුකම් සුරැකීමට කිරීමට පියවර ගත්තා. එක්සත් ජාතික පෙරමුණ විදියට අපේ පළමු වැනි අයවැය සමාජ වටිනාකම්ල යුක්තිය, නිදහස, සමානාත්මතාවය මුල් කරගෙන ඉදිරිපත් කළා.

    පහුගිය දෙසැම්බර් මාසයේ කළ යුතුව තිබූ අයවැය යෝජනා මාස හතරකට පසු විශාල අර්බුදකාරී තත්ත්වයකින් ගොඩ ඇවිත් නැවත ඉදිරිපත් කරලා තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් රටට ආර්ථික ප්‍රගතිය, සමෘද්ධිය, සාමය අත්කර ගැනීම අපි සැමගේ අත්හළ නොහැකි වගකීම බව මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 11:08

    Latest News