අප්‍රේල් 05, ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරේ

අප්‍රේ 05, 2019

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සියවැනි ජන්ම දිනය නිමිත්තෙන් අප්‍රේල් 05 වැනිදා, එනම් අද දිනය, ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

    එහිදී, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, දේශීය සිනමාව දේශපාලනීයකරණයෙන් නිදහස් කර, 70-80 දශකවල පැවති ස්වර්ණමය යුගය නැවත බිහිකර සිනමා කර්මාන්තය නඟා සිටුවීමට පියවර රැසක් ගෙන තිබෙන බවයි.

    1919 අප්‍රේල් 05 වැනිදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දෙහිවලදී උපත ලැබීය. මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂි සළකුණු රැසක් සටහන් කළ එතුමා, දකුණු ඉන්දීය ආභාෂය සහිත මෙරට සිනමාවට දේශීය මුහුණුවරක් ලබා දුන්නේය. චිත්‍රාගාරය තුළ නිර්මාණය වූ චිත්‍රපට එළිමහන් දර්ශන තල රූගත කිරීම ආරම්භ කළේය.

    1956 නිර්මාණය කළ “රේඛාව“ ඔහුගේ පළමු වෘතාන්ත චිත්‍රපටයයි. නිධානය, විශිෂ්ටතම නිර්මාණය වන අතර, සංදේශය, ගම් පෙරළිය, බැද්දේගම, ලොළු හදවත, ඉන් ප්‍රධානවේ. ලොව බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්‍ෂවරු පස් දෙනාගෙන් අයෙකු ලෙස 1983 දී “ඉන්ටර් නැෂනල් ෆිල්ම් ගයිඩ්“ මගින් නම් කෙරිණ. මෙරට සිනමා ඉතිහාසයේ මුල්ම අන්තර් ජාතික සම්මානය හිමිකර ගත් ඔහු, දෙස්-විදෙස් සම්මාන රැසකින් ද පිදුම් ලැබීය.

    ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පැවති ජාතික සිනමා දින සැමරුම් දින උළෙලේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ කෞතුකාගාරය සහ පුස්තකාලය ඉදිකිරීමට මුල්ගල තැබීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදුවිය. තෙමසක් ඇතුළත ඉදිකිරීම් අවසන් කෙරෙන අතර, වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 150ක්. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය ඇතුළු කලාකරුවන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. 

    Latest News