ෆවුසිට නෙතීසි

අප්‍රේ 29, 2024
    හිටපු ආපදා කළමනාකරණ අමාත්ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මස 22 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී විත්තිකාර ෆවුසි මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
     
    ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු චර්ම රෝගයකින් පෙළෙන බැවින් ඔහු අද දින අධිකරණයට නොපැමිණි බවයි.
     
    ඒ පිළිබඳ තහවුරු කරන වෛද්ය වාර්තාවක්ද නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළා.
     
    ඒ අනුව නඩුව නැවත මැයි මස 22 වැනිදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්තිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.
     
    ෆවුසි මහතා ආපදා කළමනාකරණ අමාත්යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්යස්ථානය වෙත පරිත්යාග කළ ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදු කළේ යැයි, චෝදනා කරමින් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News