නව වසරේ පාසල් යන්න නිල ඇඳුම් චීනයෙන්

ජන 11, 2024
    2024 නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් නිල ඇඳුම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුනු නිල ඇඳුම් රෙදි තොගය, නිල වශයෙන් බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    මෙරට චීන තානාපති ෂී ෂැං හොං මහතා විසින් එම රෙදි තොගය අමාත්‍යවරයාට අද බාර දෙනු ලැබුවා. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේදී. මෙරට සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් සියයට 80 ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට හැකි වූ බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

    පෙර වසරේදීද සියයට 50 ක ප්‍රදානයක් ලබා දීමට චීන රජය මුලින් එකඟව සිටියද පසුව එය සියයට 70 ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වුණා. මීටර ලක්ෂ 58 ක පළමු නිල ඇඳුම් රෙදි ප්‍රමාණය මේ වන විට මෙරටට ලැබී ඇති අතර, දෙවැනි තොගය පෙබරවාරි 4 වැනිදා වන විට ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියා.
    ඉතිරි පාසල් නිල ඇඳුම් රෙදි සියයට 20 ක ප්‍රමාණය චීන රජයෙන් මිලදී ගැනීමට නියමිතයි. උසස් පෙළ විෂය ධාරා සහිත සියලු පාසල් ආවරණය වන පරිදි පාසල් තුන්දහසක් ඩිජිටල්කරණයට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය අනුග්‍රහය චීන රජය ලබා දීමට සූදානම් බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
    රට ආර්ථික වශයෙන් දුෂ්කර අවදියක පසුවන මෙවන් අවස්ථාවක ලබාදෙන මෙම සහය සම්බන්ධයෙන් අමාත්‍යවරයා චීන රජය වෙත සිය කෘතඥතාව පළ කළා.

    Latest News