මධූෂ් - අමල් ඇතුළු පිරිස පිටුවහල් කෙරේ

මාර් 28, 2019

    ඩුබායි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් සහ අමල් පෙරේරා ඇතුළු 11 දෙනෙකු මෙරටට පිටුවහල් කිරීමට නියමිත බව වාර්තාවේ.

    මේ අතර, කටුනායකදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් ඇතුළු ‍සිව් දෙනා අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු රැසක් ලැබී ඇතැයි පොලිසිය පවසයි. ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ.

    ඩුබායිහිදී මෙම පිරිස අත්අඩංගුවට පත්වුණේ, මාකඳුරේ මධූෂ් සමඟ උපන්දින සාදයකට සහභාගි වී සිටියදී. ඩුබායි දේශයෙන් පිටුවහල් කරන ලද, මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන්, අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා, අමිල සම්පත් සේපාල රත්නායක, ඇන්ඩර්සන් ෆර්ඩිනැන්ඩර්ස් යන පිරිස අද උදේ අත්අඩංගුවට ගනු ලැබීය. කංජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධූෂ් මෙරට මත්ද්‍රව්‍ය බෙදා හැරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටී. කොළඹ අපරාධ කොට්ඨාසය ඔවුන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.

    මේ අතර, ඩුබායි දේශයෙන් ඊයේ පිටුවහල් කළ දෙදෙනාගෙන් බන්ධනාගාර නියාමක ලලිත් කුමාර යන අය කළුතර දී බන්ධනාගාර බස් රථයට පහරදීමේ සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. ලලිත් කුමාර සහ මාකඳුරේ මධූෂ් අතර සමීප සබඳතා පැවති බව පොලිසිය කියා සිටී. ඔහු අද කළුතර අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.

    ඉන්දියාවේ සැගව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලා ඇලේ ගුණාගේ සමීපතමයින් වන පෙරාමුල්ලේ සමීර ඇතුළු සිව් දෙනෙකු ද අත් අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මේ සිව් දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය වත්තල, හැඳල, පල්ලියවත්ත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී. ඔවුන් අද වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 2 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

     

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 20:39

    Latest News