රස තේ දල්ලට පොහොර සහන මිලට

නොවැ 02, 2023
    මෙරට තේ වගාව සඳහා අවශ්ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කර තිබෙනවා.

    තේ වගාව සඳහා අවශ්ය වන පොහොර සහන මිලකට ලබා දෙන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය ඊයේ (01) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළා.

    රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් දැනට තේ, කුරුඳු, පොල් ඇතුළු වැවිලි බෝග වර්ග සඳහා විශේෂ මිශ්ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබනවා.
     
    මෙම පොහොර තේ වගාව සඳහා ඉතා උචිත වන අතර එම පොහොර සහන මිලකට තේ කර්මාන්තකරුවන්ට ලබා දීම සම්බන්ධව අමාත්යවරයා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය ජගත් පෙරේරා මහතා සමග සාකච්ඡා කරනු ලැබුවා.
     
    ඒ අනූව, මෙරට තේ වගාව සඳහා අවශ්ය වන පොහොර දැනට සමාගම විසින් නිෂ්පාදනය කරන මිලටම ලබා දීමට සභාපතිවරයා එකඟත්වය පළ කළා.
     
    ඒ අනූව, වසර කිහිපයක් තිස්සේ තේ වගාව සම්බන්ධව පැවැති පොහොර ගැටළුව විසඳෙනු ඇති.
    එමෙන්ම කෘෂිකාර්මික අංශයට පොහොර සැපයීම සඳහා ඉදිරිපත් වන කවර ආයතනයකට වුවද අවසර ලබා දීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණය කර ඇති බව ද අමාත්යවරයා සඳහන් කළා.
     
    එමෙන්ම, තේ කර්මාන්තය සඳහා අවශ්ය වන පොහොර සම්පාදනයට ඉදිරිපත් වන්නේ නම් තේ කර්මාන්තකරුවන්ගේ සංගමයට ඊට අවසර ලබා දිය හැකි බවද සඳහන් කළා.

    Latest News