සිසුවා පාසලට දාන්න අල්ලස් ගත් නිලධාරිනියගේ වැඩ තහනම්

මාර් 26, 2019

    ගාල්ල ප්‍රදේශයේ ජාතික පාසලකට සිසුවියක ඇතුළත් කිරීම සඳහා අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ වැඩ තහනම් කර තිබේ.

    ඇය අමාත්‍යාංශයේ ලේඛන සහකාර තනතුරේ රාජකාරී කළ නිලධාරිනියක්. ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනූව, මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විනය ක්‍රියා මාර්ග ගැනීමට ද නියමිතයි. අධ්‍යාපන පද්ධතිය අල්ලස හා දූෂණයෙන් තොරව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නංවා තිබේ. 

    සිද්ධිය අනාවරණය වී ඇත්තේ එම තොරතුරු ලබාගැනීමේ පද්ධතිය මගින්. මාපියන් නොමග යවමින් දරුවන් ඇතුළත් කිරීමට හා ගුරුමාරු සඳහා මුදල් ලබාගන්නා බවට ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. ඇතැම් පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    Last modified on අඟහරුවාදා, 26 මාර්තු 2019 09:24

    Latest News