නෙදර්ලන්තයේ නොතිබිය යුතු අනෙකුත් රටවලට අයත් කෞතුක භාණ්ඩ අදාළ රටවලටම ආපසු ලබාදීමේ පළමු අවස්ථාව මෙය බවයි, නෙදර්ලන්ත සංස්කෘතික අමාත්‍යවරිය පවසන්නේ. නෙදර්ලන්තය විසින් යළි ලබා දීමට සූදානම් වන කෞතුක භාණ්ඩ අතර, මැණික් ඔබ්බවන ලද ලෝකඩ කාලතුවක්කුවක් සහ ලොම්බොක් නිධානයෙන් ලබා ගත් ස්වර්ණාභරණ තොගයක් ද ඇති බවයි, වාර්තා වන්නේ.
එහිදී, 1894 වසරේදී ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ රජ මාලිගයකින් ලන්දේසි යටත්විජිත හමුදාව විසින් ලබා ගන්නා ලද ස්වර්ණාභරණ මෙන්ම, වටිනා පාෂාණ පමණක් නොව රන් සහ රිදී තොගයක් ද ඉන්දුනීසියාව වෙත යළි ලබා දීමට නියමිතයි. 18 වැනි සියවසේදී මහනුවර රාජධානියේ එවක බලයට පත්ව සිටි රජු වෙත ශ්‍රී ලාංකික ප්‍රභූවරයෙකුගෙන් ත්‍යාගයක් ලෙස පිරිනැමුණු මේ වන විට ඇන්ස්ටර්ඩෑම් හි “රිජ්ක්ස්” කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අති විශිෂ්ට නිර්මාණයක් වූ ලෝකඩ කාලතුවක්කුව ශ්‍රී ලංකාවට යළි ලබාදීමට නියමිතයි.
1765 වසරේදී ලන්දේසි හමුදාව මහනුවර රාජධානියට පහර දීමත් සමග එම කාලතුවක්කුව ලන්දේසීන් අතට පත් වූ බවට විශ්වාස කෙරෙනවා. අදාළ රටවල් සිය කෞතුක භාණ්ඩ ආපසු ලබා දෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ නම්, ඊට එකඟතාව පළ කරමින් මෙම පියවර ගන්නා බවයි, නෙදර්ලන්ත බලධාරීන් පවසන්නේ. මෙය කෞතුක භාණ්ඩ ආපසු ලබාදීමක් පමණක්ම නොව, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් සමග වඩා තීව්ර ලෙස සහයෝගයෙන් ක්‍රියා කිරීමේ කාලපරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කිරීමක් ද වන බව, නෙදර්ලන්ත සංස්කෘතික අමාත්‍යවරිය වන “ගනේයි යූස්ලූ” කියා සිටිනවා.