ඩෙංගු රෝගීන් වාර්තාවීමේ පැහැදිළි වර්ධනයක්

ජූනි 24, 2023

    ඩෙංගු රෝගීන් වාර්තාවීමේ පැහැදිළි වර්ධනයක් මේ වසරේ දක්නට ලැබෙනවා.

    ජනවාරි සිට මෙතෙක් වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,000කට අධිකයි. ‍එම රෝගීන් අතුරින්  23,000කට වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන්. ඒ අතරින් ද කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. මේ අතර ගොතටුව ප්‍රදේශයෙන් ද  දිනකට ඩෙංගු රෝගීන් 35කට වැඩි පිරිසක් වාර්තාවන බව එහි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසනවා.

    රෝගය ව්‍යාප්තවීමේ අවදානම අවම කර ගැනීම සඳහා අද සිට විශේෂ  වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. එය ආරම්භ කෙරුණේ, කැළණිමුල්ල ප්‍රදේශයෙන්. මෙහිදී ‍ඩෙංගු සම්බන්ධයෙන් නිවාස රැසක් පරික්ෂා කෙරුණු අතර, මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳ  ජනතාව දැනුවත් කෙරුණා.

    වැඩසටහනට ශ්‍රී ලංකා පොලිසිය හා ගුවන් හමුදාව ද මහජන පරික්ෂකවරුන් සමග එක්ව සිටිනවා. ගුවන් හමුදාව මෙ‍හිදී විශේෂ ඩ්‍රෝන යානාවක් මගින් හිස්  ඉඩම් සහ ගොඩනැගිලි පරික්ෂාවක් සිදුකළා. කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කරන්නේ, ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට හෝ  සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැක්කක් බවයි.

    ඊට සියලුම ජනතාවගේ සහය ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය නිෂ්පාදනය කරන "101" කථා  වැඩසටහනට ඊයේ සහභාගීවෙමින් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ බව අවධාරණය කළා.

    Latest News