ලක්දිව ඉංජිනේරු සමාගමෙන් නව මාදිලියේ බස් රථයක් (ඡායාරූප)

මාර් 23, 2019

    ප්‍රවාහන අමාත්‍යංශයට අයත් ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම නව මාදිලියේ බස්රථයක් ඊයේ (22) හඳුන්වා දෙනු ලැබීය.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතීතයේ භාවිත කළ බස්රථ ආකෘතියට අනුව නවීන පහසුකම්ද ඊට එක් කරමින් එම බස්රථය නිපදවා තිබේ. සාමාන්‍ය බස් රථයක් නිපැදවීමට යන මුදලට වඩා 30% අඩු පිරිවැයකින් එම මාදිලියේ බස්රථයක් නිපැදවීමට හැකි වීමද විශේෂත්වයකි. 1987 වසරේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල අනන්‍යතාව වූ බස්රථ බඳෙහි නිල් පැහැ වර්ණ තීරුවද මෙම නව මාදිලියේ බස්රථයට යොදා තිබේ.

    මෙම නවමාදිලියේ බස්රථය හඳුන්වා දීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී සිදුවූ අතර එම අවස්ථාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එක් වූහ.

    එහිදී එම උත්සව සභාව අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ ලක්දිව ඉංජිනේරු සමාගමට අලුත් ව්‍යාපාරික අවස්ථා හඳුන්වා දීමටද කටයුතු කරමින් සිටින බවයි.

    “ලක්දිව ඉංජිනේරු සමාගම දැන් ක්‍රම ක්‍රමයෙන් ලාභ ලබන තත්ත්වයකට ළඟා වෙමින් තිබෙනවා. අපේ අරමුණ වන්නේ බස් රථ නිපැදවීමට අමතරව මෙම සමාගමට අලුත් ව්‍යාපාර අවස්ථා හඳුන්වා දෙන්න. ඒ යටතේ දුම්පරීක්ෂණ මධ්‍යස්ථානයක් මේ සමාගමට ලබා දීමට පසුගියදා අපි පියවර ගත්තා. එහි ව්‍යාපාර කටයුතු නොබෝ දිනකින්ම ආරම්භ කිරීමටත් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මේ ආයතනයේ සේවකයින්ගේ සුභ සාධනය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ගේ වැටුප ඉතාම අඩුයි. අපි අපේක්ෂා කරනවා සමාගම ලාභ ලැබීමත් සමගම සේවකයින්ගේ සුභසාධනයත් ඉහළ නංවන්න. ඇත්තටම සේවකයින් කැපවුණොත් මේ සමාගම ඉහළට ගේන්න පුළුවන්. එහෙම වුණොත් මේ සමාගම් පෞද්ගලීකරණය කරන්න වෙන්නේ නැහැ. කොහොමත් මම පෞද්ගලීකරණය ප්‍රතික්ෂේප කරන කෙනෙක්. මේ සමාගම විකුණනන්න ඉඩ නොදී ඉහළට ගෙනෙන්න කළ හැකි හොඳම දේ මම කරනවා...”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

    ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම අබලි බස්රථ යොදා ගනිමින් නව බස්රථ නිපදවන සමාගමකි. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ වැඩ ඒකකයක් ලෙස ආරම්භ වූ මෙහි 1,200කට ආසන්න සේවක සංඛ්‍යාවක් මුල් යුගයේදී සේවය කළේය. ශ්‍රී ලංගම සඳහා බස් බඳ සකස් කිරිම එහිදී සිදු කෙරිණි. එහෙත් පසුකාලීනව ශ්‍රී ලංගමයේ කඩා වැටීමත් සමඟම ඒකල මෙම ඉංජිනේරු අංශයද කඩා වැටෙන තත්ත්වයකට පත් විය. එහෙත් මෑත කාලීනව එම ඉංජිනේරු අංශය ලක්දිව ඉංජිනේරු සමාගම නමින් නැවතත් ස්ථාපිත කෙරිණ. මෙම වසර ආරම්භයට පෙර එම සමාගම මසකට නිපදවූ බස්රථ සංඛ්‍යාව හත ඉක්ම නොවීය. කෙසේ නමුත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත පසුගිය පෙබරවාරී මාසයේ සිට එම නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු යොදා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසට පෙබරවාරී මාසයේදී බස්රථ 7ක් නිපැදවීමට ලක්දිව ඉංජිනේරු සමාගම සමත්ව තිබේ. මේ මාසයේදී දැනට නිපදවූ බස්රථ සංඛ්‍යාව 14කි. ඒ අනුව 2018 වසරේදී මේ දක්වා එම සමාගම නිපැදවූ මුළු බස්රථ සංඛ්‍යාව 24ක් වේ. එක් බස්රථයකින් ශුද්ධ ලාභය ලක්ෂ දෙකක් පමණ වන බැවින් මේ වන විට මේ වසරේදී සමාගම උපැයූ ශුද්ධ ලාභය ලක්ෂ 48ක් වී ඇත.

    Bus 01

    Bus 02

    Bus 03

    Bus 04

    Latest News