කොමිෂන් සභා දෙදකට සාමාජිකයින් පත් කෙරේ

මැයි 03, 2023

    ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

    ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ලෙස, ඩබ්ලිව් සුදර්මා කරුණාරත්න මහත්මිය පත් කර තිබෙනවා. සෙසු සාමාජිකයින් වන්නේ, වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී ඒ පිය‍සිරි ධරණගම, සුමන්දිරන් සින්නකණ්ඩු, ඒ ජී පුබුදු අසංග ගුණවංශ යන මහත්වරුන්. මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ, සුමිත් අබේසිංහ මහතායි. තුආන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් සෙසු සාමාජිකයන් වනවා.

    රට තුළ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණයට කාර්ය සාධන බලකා 7 ක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සහ සේවා සැපයීමේ ආයතන 54 ක් ස්ථාපිත කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි. මෙමගින් ආයෝජනවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය සරල කිරීම, ඒ සඳහා ගතවන කාලය අවම කිරීම සහ අවශ්‍ය තොරතුරු පහසුවන් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙරෙනවා. ව්‍යාපාර ප්‍රවේශය පහසු කිරීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාර්ය සාධක බලකාය ද ඊට ඇතුළත්.

    දේපළ ලියාපදිංචි කිරීමේ කාර්ය සාධක බලකායක් ද ස්ථාපනය කිරීමට නියමිතයි. මිනුපති දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 7 කින් එය සමන්විතයි. ඔප්පු හිමිකම් සෙවීම්, විද්‍යුත් ඔප්පු ලියාපදිංචි කිරීම සහ ගොඩනැගිලි වීදි රේඛා සහතික ලබා ගැනීම සඳහා ගතවන කාලය, පිරිවැය, අවම කිරීම සඳහා ඊ - ඉඩම් පද්ධතිය ක්‍රියාත්මක කිරීම මෙමගින් සිදු කෙරෙනු ඇති.

    Latest News