ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවේ

නොවැ 04, 2022

    වඳුරු උණ හෙවත් (Monkey Fox) වැලඳුණු ශ්‍රී ලාංකිකයකු ඊයේ (03) සොයාගත් බව බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණ ආයතනය පවසයි. 

    වඳුරු උණ වැලඳුණු ශ්‍රී ලාංකිකයකු මෙරටින් සොයා ගත් ප්‍රථම අවස්ථාවද මෙය වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට පසුගිය දෙවන දින පැමිණි 20 හැවිරිදි තරුණයකුට වඳුරු උණ වැලඳී ඇති බව තහවුරු වී තිබේ. මෙම තරුණයා පසුගිය පළමුවැනිදා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇත. වසා ගැටිති විශාල වීම හා වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් ඔහු මෙම සායනයට පැමිණ තිබේ. 

    ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයේ වෛද්‍යවරුන්ට ඇති වූ සැකයක් මත මෙම තරුණයා වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වයිරස්වේදී අංශය වෙත යොමුකර තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරසවේදී අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් වන ජානකී අබේනායක සහ ජූඩ් ජයමහ විසින් මෙම තරුණයා වයිරස් රෝග සඳහා වූ පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කර ඇත.

    සෑම නියැදියකම වඳුරු උණ හෙවත් ‘‘මන්කි ෆොක්ස්’’ සඳහා විශේෂිත වූ ජාන හඳුනාගත් වෛද්‍යවරුන් දෙදෙනා ගැඹුරු විශ්ලේෂණයකින් පසු මෙම තරුණයාට රෝගය වැලඳී ඇති බව තහවුරු කර ගන්නා ලදී.

    මෙම වසරේ ජූලි මාසයේදී මන්කි ෆොක්ස් හඳුනා ගැනීම සඳහා වූ පී.සී.ආර්. පරීක්ෂණ ස්ථාපිත කිරීමෙන් පසු මෙම රෝගය වැලඳී ඇතැයි සැක කරන රෝගීන් හය දෙනකුගේ සාම්පල පරීක්ෂා කළ බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර කියා සිටියේය.

    ශ්‍රී ලංකාවෙන් සොයාගත් රෝගියා අයිඩිඑච් උණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි. මන්කි ෆොක්ස් රෝගය රටවල් 109ක ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. දැනට ලෝකය පුරා රෝගීන් 77,573 ක් සොයාගෙන ඇත. මියගිය සංඛ්‍යාව පහකි. 

    Last modified on සිකුරාදා, 04 නොවැම්බර් 2022 08:34

    Latest News