නාලකගේ රෝගය සෙවීමට අධිකරණයෙන් නියෝගයක්

මාර් 19, 2019

    ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.

    ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේදී.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළව ගොනු කළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු දන්වා සිටින බව නාලක ද සිල්වාගේ නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේය. නාලක ද සිල්වාගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිඥ අජිත් පතිරණ මහතා කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ යැයි පවසමින් නාමල් කුමාර ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව රහස් පොලිසිය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනක් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

    Latest News