ආහාරවල අහිතකර රසායනික නියාමනයට නව රෙගුලාසි

ඔක් 27, 2022

    ආහාරවල අන්තර්ගත මිනිස් සිරුරට අහිතකර රසායනික සංඝටක නියාමනය කිරීම සඳහා නව රෙගුලාසි ගෙන ඒමට ක්‍රියා කරන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

    පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානයේ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් ගොනුකළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ ද අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා.

    එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ ආහාරවල අන්තර්ගත "මයික්‍රොටොක්සින්" නැමැති සංගටකය නියාමනය කිරීම සඳහා නව රෙගුලාසි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

    ඒ හරහා පොල්තෙල් ඇතුළු සියලු ආහාරවල අන්තර්ගත "ඇප්ලටොක්සින්" ඇතුළු විෂ කාරක නියාමනය කිරීමක් සිදු වන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

    ඉන් අනතුරුව අදාළ පෙත්සම නොවැම්බර් මස 15 වනදා කැඳවීමට නියම කෙරුණා.

    පෙත්සම්කාර මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කියා සිටින්නේ මිනිස් සිරුරට අහිතකර පිළිකා කාරක විෂ සංඝටක අඩංගු පොල්තෙල් විවිධ සමාගම් හා ආයතන විසින් මෙරටට ආනයන බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ඔක්තෝබර් 2022 11:40

    Latest News