දරු පරපුරට පෝෂණය ලබා දීමත් වැඩිහිටියන් සෙනෙහසින් රැකීමත් රාජ්‍ය නායකයාගේ වගකීමයි - ජනපති

ඔක් 01, 2022

    රටේ වත්මන් දරු පරපුරට පෝෂණයත්, අනාගත දරු පරපුරට දියුණු සංවර්ධිත රටක් නිර්මාණය කර දීමත් මේ මොහොතේ තමාගේ මෙහෙවර බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

    ජනාධිපතිතුමා නිකුත් කළ පණිවුඩය පහතින්...

    සමකාලීන සමාජයේ වෙසෙන වැඩිහිටි අපට ගෝචර වන ලෝකය, දරුවන්ගේ ලෝකය නොවේ. එය බෙහෙවින් සරලය. මටසිලිටුය. ඔවුන් කුතුහලයෙන් පිපාසිතය. වැඩිහිටි අප ඒ පිළිබඳ නුවණින් වටහාගෙන, පෙර නොවූ විරූ ලෝකයක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කිරීමට වග බලා ගත යුතුය.

    පසුගිය වසර කිහිපය සැලකිල්ලට ගැනීමේදී මෙයට වසර කිහිපයකට පෙර දරුවන් ගත කළ සමාජ පසුතලයට වඩා වර්තමානය බෙහෙවින් වෙනස් වී තිබෙන බව පැහැදිලිය.

    මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන් කෙරෙන අනාවරණයන් ද බොහෝය. එබඳු පසුබිමක රටේ සියලුම දරුවන් නිසි කැලරි ප්‍රමාණය අඩංගු සමබල ආහාර වේලක් ලබා ගන්නා බව සහතික කිරීම, රාජ්‍ය නායකයා වශයෙන් මගේ යුතුකමයි. රටේ වත්මන් දරු පරපුරට පෝෂණයත්, අනාගත දරු පරපුරට දියුණු සංවර්ධිත රටක් නිර්මාණය කර දීමත් මේ මොහොතේ මගේ මෙහෙවර වේ.

    මා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි දිළිඳු හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් රැකබලා ගැනීම කෙරෙහි අවශ්‍ය කටයුතු ක්‍රමිකව සිදු කෙරෙමින් පවතී. පාසල් දරුවන් වෙනුවෙන් රජයේ වියදමින් සමබල ආහාර වේලක් ලබාදීමට කටයුතු කරන අතර, එහි ආරම්භයක් වශයෙන් පාසල් දරු දැරියන් 1,080,000කට උදෑසන පාසල් ආරම්භ වීමට පෙර සමබල පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම දැනටමත් සිදු කෙරේ. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ විශේෂඥයන්ගේ අනුමැතියෙන් සිදු කෙරෙන ව්‍යාපෘතියකි.

    එමෙන්ම ගැබිනි මවුවරුන් සඳහා ලබා දෙන දීමනාවට අමතරව තවත් අමතර දීමනාවක් සහ ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සඳහා මාසිකව දීමනාවක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

    දරුවන්ගේ සුන්දර ළමා කාලය මෙන්ම අපේ රටේ උන්නතිය උදෙසා අසීමිත කැපකිරීම් කළ වැඩිහිටි ප්‍රජාව ද සෙනෙහසින් රැකබලා ගැනීම අපගේ යුතුකමකි. එය අපේ සංස්කෘතිය හා බද්ධව පවතී. ආහාරපාන, අධ්‍යාපනය, ක්‍රීඩාව, සෞන්දර්යය, විවේකය, නින්ද, මානසික සුවය, ශාරීරික නිරෝගීතාව දරුවන්ගේ අවශ්‍යතාවලින් කිහිපයක් පමණි. ඒවා ලබා දීමට අපි සංස්කෘතිකමය හා නෛතික වශයෙන් බැඳී සිටිමු.

    රජය හැරුණු කොට ඔවුන්ගේ අවශ්‍යතා පසුවට කල් නොතබා ඉටු කිරීම මවුපියන්, ගුරුවරුන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන සියලු දෙනාගේ ද වගකීම ලෙස මම දකිමි.

    සියලු දරුවන් හා වැඩිහිටියන් තමන්ගේ සමීපතමයන් සේ සලකා ඔවුන් දෙස සෙනෙහසින් බලන, දකින සහ ක්‍රියා කරන යුගයක් උදා කර ගැනීමට අපි සැවොම එක්ව කැප වෙමු.

    Last modified on සෙනසුරාදා, 01 ඔක්තෝබර් 2022 10:20

    Latest News