ඉන්ධන ගැටලුවට මුහුණදීමට සහය වන්නැයි, අගමැති සවුදි රජයෙන් ඉල්ලයි

සැප් 18, 2022

    ආර්ථික සහ ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට සහය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සෞදි අරාබි නව තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ, සෞදි තානාපති කහලිඩ් හමුඩ් නසර් අල්ඩසාන් අල්කහ්තානි මහතා පසුගියදා හමුවූ අවස්ථාවේදී.

    මෙරට සෞදි අරාබියේ නව තානාපති කහලිඩ් හමුඩ් නසර් අල්ඩසාන් අල්කහ්තානි මහතා සිය අක්ත පත්‍ර බාරදීමෙන් පසු කියා සිටියේ, පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා වැඩි කිරීම තම ප්‍රධාන කාර්යය වන බවයි.

    කෙටි කාලයකදී සෞදි අරාබියේ සිටින පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය එක් ලක්ෂ අසූදහසේ සිට හාරලක්ෂය දක්වා වැඩිකළ හැකි බවද ඔහු සඳහන් කළා. වත්මන් ආර්ථික ගැටලුවලින් ශ්‍රී ලංකාව යථාතත්වයට පත්වනු දැකීම සෞදි රජයේ අපේක්ෂාව බවද ඔහු පැවසුවා.

    ආයෝජන මණ්ඩලය අලුතින් හඳුන්වාදී ඇති ලිහිල් වීසා රෙගුලාසි සහ ආයෝජන පහසු කිරීමේ යෝජනා මගින් සෞදි ආයෝජකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට ඉවහල්වනු ඇතැයි, අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා. 

    බලශක්ති, ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට සෞදි අරාබියට අවස්ථාව ඇති බව, පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සෞදි සංවර්ධන අරමුදලේ නව ආධාර වැඩසටහන් යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් සහයට ස්තුතිය පළකළා.

    සංචාරක ප්‍රවර්ධන සහ සෞදි ගුවන් සේවය ශ්‍රී ලංකාව නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරුණා. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ සෞදි ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නඛීබ් මව්ලානා යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News