ඩොලර් ගෙනෙන ඇඹුල් කෙසෙල්...

සැප් 16, 2022

    ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියක්  අනුරාධපුර  - රාජාංගනය ප්‍රදේශයේ සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙනවා.

    එය ලෝක බැංකු ආධාර යටතේ මෙ‍රට කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින්  ක්‍රියාත්මකයි. ඇඹුල් කෙසෙල් වගා කිරීම, අස්වනු නෙළා ගැනීම, ඇසුරුම්කරණය ආදි සියලු කටයුතු මෙහි සිදු කෙරෙන්නේ, අන්තර්ජාතික  ප්‍රමිතීන්ට අනුකූලවයි. ව්‍යාපෘතිය මගින් ඊට අවශ්‍ය විද්‍යාත්මක හා තාක්ෂණික පුහුණුව ගොවීන්ට සපයා තිබෙනවා.

    මෙමගින් දේශීය වෙළඳපොළට වාර්ෂිකව ගුණාත්මක තත්වයෙන් ඉහළ ඇඹුල් කෙසෙල් කිලෝ එක් ලක්ෂ 53,000 ක් පමණ සපයනු ලබනවා.  විදෙස් රටවල් කිහිපයකට ද නිෂ්පාදන සැපයෙන අතර, එහිදී ඇඹුල් කෙසෙල් මෙට්‍රික්ටොන් එකක් අලෙවි කෙරෙන්නේ, අමෙරිකානු ඩොලර් 600 ත් 700 ත් අතර මිල ගණන් යටතේයි.

    මේ  වසරේ මුල් මාස 6 තුළ ඇඹුල්  කෙසෙල් අපනයනයෙන් අමෙරිකානු ඩොලර් 28,000 ක මුදලක් උපයා තිබෙනවා. ව්‍යාපෘතිය ඊයේ අමාත්‍ය මහින්ද අමරවීර සහ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ, තවත් දිස්ත්‍රික්ක කිහිපයකට මෙම කෙසෙල් ව්‍යාපෘතිය හඳුන්වා දීමට නියමිතයි.

    Latest News