කසාන් අන්තර්ජාතික මුස්ලිම් චිත්‍රපට උළෙලේ හොඳම නළුවා සම සම්මානය "ද නිව්ස් පේපර්" චිත්‍රපටයට

සැප් 12, 2022

    මෙරට සිනමා ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් ලබාදුන් 'ද නිවුස් පේපර්' චිත්‍රපටයට විශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාර හිමිව තිබුණා.

    එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ ප්‍රතිසම්පූර්ණ රංගකලා ශිල්පීන් දෙදෙනෙකු වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ඊයේ කසාන් අන්තර්ජාතික මුස්ලිම් චිත්‍රපට උළෙලේදී හොඳම නළුවා සම සම්මානය හිමි කර ගත්තා. ටාටස්ථාන් ජනරජයේ අගනුවරදී ඊයේ පැවැති මෙම සම්මාන උළෙලේදී "ද නිව්ස් පේපර්" චිත්‍රපටය නියෝජනය කරමින් චිත්‍ර පටයේ සම නිෂ්පාදක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සම්මාන ලබාගත්තා.

    මෙවර සම්මාන උළෙල පැවැත්වුණේ, 18 වැනි වරටයි. මාධ්‍ය භාවිතයේ කළු-සුදු දෙඅංශය පිළිබඳව සමාජ කතිකාවක් ගොඩනැගීම අරමුණු කරගනිමින් නිවුස් පේපර් චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. සරත් කොතලාවල, කුමාර තිරිමාදුර සම අධ්‍යක්‍ෂණයෙන් හා තිර රචනයෙන් නිර්මාණය වූ මෙම චිත්‍ර පටය පසුගිය වසරේ ජුලි දෙවැනිදා තිරගත කෙරුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ, එච්.ඩී. ප්‍රේමසිරි යන මහත්වරු චිත්‍රපටය නිෂ්පාදනය කළා. ගයත්‍රී කේමදාස සංගීතවත් කළ මෙම චිත්‍රපටය, රුක්මන් නිරෝෂ්ගේ සංස්කරණයක්.

    කොටි ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙමින් පැවති අවදියේ බස් රථයකට බෝම්බ තැබීමේ සිද්ධියක් කේන්ද්‍ර කරගනිමින් චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. ධර්මප්‍රිය ඩයස්, පුබුදු චතුරංග, ගිහාන් ප්‍රනාන්දු, ගිරිරාජ් කෞශල්‍ය, ජයලාල් රෝහණ ඇතුළු කලාකරුවන් රැසකගේ රංගක දායකත්වය‍ චිත්‍රපටයට හිමිව තිබෙනවා.

    Latest News