22 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට‍

සැප් 06, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (06) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

    අදාළ තීන්දුව මේ වන විටත් තමා වෙත ලැබී ඇති බවයි අප කළ විමසීමකට පිළිතුරු දෙමින් කථානායකවරයා සඳහන් කළේය.

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශව කිහිපයක් විසින් අධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබුණි.

    එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණු අතර ඉදිරිපත් කරනු ලැබු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ විනිසුරු මඩුල්ල එහි තීන්දුව කථානායකවරයා වෙත ඉදිරිපත් කරන බව අගෝස්තු 23 වන දින නිවේදනය කළේය.

    ඒ අනුව අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එම තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

    පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීමට නියමිතය.

    Latest News