සිපෙට්කෝ පිරවුම් හල් පුද්ගලීකරණය කිරීමේ තීරණයට එරෙහිව පෙත්සමක්

අගෝ 26, 2022

    දිගු කාලීන පදනම යටතේ ඉන්ධන ආනයනය, මිල දී ගැනීම, රටතුළ බෙදා හැරීම සහ විකිණීමේ කටයුතු තෝරාගත් විදේශීය සමාගම් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

    ශ්‍රී ලංකා පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කළා.

    එහි වග උත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා, බලශක්ති විෂයභාර ඇමති කංචන විජේසේකර, සෙසු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් වල තෝරාගත් සමාගම්වලට ඍජුව ඉන්ධන මිල දී ගැනීම, මෙරටට ආනයනය කිරීම, මෙරට තුළ බෙදා හැරීම සහ විකිණීමේ කටයුතු සිදු කිරීමට අවසර දෙමින් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය ගෙන ඇති බවයි.

    මේ හරහා ඛනිජ තෙල් සංස්ථාව සතු පිරහුම් හල් අතරින් වැඩි ප්‍රමාණයක් පුද්ගලිකරණය කිරීමේ සූදානමක් පවතින බවද පෙත්සමෙහි සඳහන් වෙනවා.

    එමෙන්ම අතිශය ලාභ ලබන පිරවුම් හල් රැසක් ඊට ඇතුලත් බවයි පෙත්සමෙන් පෙන්වා දි ඇත්තේ.

    මේ හරහා ඛනිජ තෙල් සංස්ථාවට මෙන්ම සමස්ත මහ ජනතාවටත් දැඩි අගතියක් මෙන්ම පාඩුවක් සිදුවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පවසනවා

    එබැවින් අදාළ පිරවුම්හල් පෞද්ගලීකරණය කිරීමේ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වැලක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News