යුන්සෙෆ් වෙතින් දරුවන් සහ මව්වරුන් වෙනුවෙන් තවත් ඩො.මි. 25ක්

අගෝ 26, 2022

    මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරන බව, යුනිසෙෆ් සංවිධානය පවසනවා.

     අධ්‍යාපනික මෙන්ම, දරුවන්ට අදාළ අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ගර්භනී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන්ට අනුග්‍රහය දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අමතර අමෙරිකානු ඩොලර් මිලියන 25 ක් වෙන් කර ඇතැයි ද එම සංවිධානය කියා සිටිනවා.

    දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂ ජෝජ් ලායා අජේ ප්‍රමුඛ යුනිසෙෆ් හි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණ ගැසුණා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා, යුනිසෙෆ් සංවිධානයෙන් ඉල්ලා සිටියේ ග්‍රාමීය සහ නාගරික අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ලබා දෙන ආධාර වැඩි කරන ලෙසයි. ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ‍පිරිසිදු පානීය ජලය, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණ, අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම අදාළ ව්‍යාපෘති මගින් සිදු කෙරෙනවා. පාසල් දරුවන් වෙනුවෙන් දිවා ආහාරය ලබාදීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

    එමගින්, රටේ පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලන අතරම, ග්‍රාමීය සහ නාගරික දිළිඳු පවුල්වල දරුවන්ට පාසල් යාම සඳහා උත්තේජනයක් සැපයෙනවා. මෙරට කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන අතර, එම වැඩසටහන් ඉදිරියේදී පුළුල් කරන බවද, යුනිසෙෆ් නියෝජිතයන් අවධාරණය කළා. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, යුනිසෙ‍ෆ් හි ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් කුග් ඇතුළු පිරිසක් මේ අවස්ථාව එක්ව සිටියා.

    Latest News