හිටපු ජනපතිගේ විදෙස් ගමන් වියදම් ගැන රජයෙන් දැනුම් දීමක්

අගෝ 17, 2022

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය අවධාරණය කරනවා.

    ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටින්නේ, හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජයේ මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබීම පිළිබඳව සොයා බලන බවයි.

    සතියේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නගා තිබෙනවා. 

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන‍ට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවට ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජයේ මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබූ බවයි.  මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බලන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

    තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළ කර ඇති වාර්තා සාවද්‍ය බව දැනුම් දී ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බව අවධාරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.    

    Latest News