විදුලි සැර වැදී දළ ඇතෙකු ඇතුළු වන අලින් තිදෙනකු මරුට...

අගෝ 14, 2022

    මිහින්තලය, ඉහළගම ප්‍රදේශයේදී විදුලි සැර වැදීමකින් දළ ඇතෙකු ඇතුළු වන අලින් තිදෙනකු මරණයට පත්ව තිබෙනවා.

    මෙසේ මියගොස් සිටි වන අලින් අතර දළ ඇතකු සහ වයස අවුරුදු පහක් පමණ වන කුඩා ගැහැණු අලි පැටවකුද සිටින බවත් මියගිය දළ ඇතා සහ අනිත් අලියා වයස අවුරුදු 15ක් පමණ වන බවත් වනජීවී නිලධාරීන් සඳහන් කරනවා. වන අලීන් දෙදෙනෙකු අස්වැන්න නෙළන ලද කුඹුරු යායක් ආසන්නයේ වැටී සිටි අතර මියගිය කුඩා අලි පැටවා අත්හැර දමා ඇති හේන් වගාබිමක වැටී ඇතැයි පැවසෙනවා. අලින් තිදෙනා විදුලි සැර වැදීමකින් මරණයට පත්ව ඇති බවට සැක කෙරෙනවා.

    මෙම වන අලින් මිය ගොස් සිටින ස්ථානයට යාබද නිවසක හිමිකරු වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර ඔහුගේ ඉඩම ආසන්නයේ තිබී විදුලි රැහැන් සහ රැහැන් ඇදීම සදහා යොදාගත් කණු කිහිපයක් ද වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර මියගිය වන අලින් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් සිදු කිරිමට නියමිතයි.

    Latest News