මානව හිමිකම් සැසියේ නායකත්වය විදේශ ඇමති තිලක් මාරපනට

මාර් 13, 2019

    ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 40 වැනි සැසිවාරයට, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ පෙළේ පංච පුද්ගල නියෝජිත පිරිසක් සහභාගිවේ.

    මේ බව තීරණය කෙරුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා අතර පැවති සාකච්ජාවෙන් පසුවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂල් බැෂලේ මහත්මිය “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් තහවුරු කිරීම“ යන මැයෙන් වාර්තාවක් මෙවර සැසිවාරය වෙත ඉදිරිපත් කර තිබේ.

    එය සළකා බැලීම මේ මස 20 වැනිදා සිදු කෙරෙන බවයි, විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. එමෙන්ම, ශ්‍රී ලංකාව පිළිබඳ කෙටුම්පත් කර ඇති යෝජනාව, මේ මස 21 වැනිදා සාකච්ජාවට ලක් කෙරේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීමට නියමිතයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ සහ නියෝජ්‍ය සෙලිසිටර් ජෙනරාල් ඒ.නෙරින්පුල්ලේ යන මහත්වරු, නියෝජිත පිරිසේ සෙසු සාමාජිකයන්. ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අසීස් මහතා ද සාකච්ජා සඳහා එක්වීමට නියමිතයි.

    මේ අතර, ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව බ්‍රිතාන්‍යයේ සහ කැනඩාවේ මූලිකත්වයෙන් ඊයේ මානව හිමිකම් කවුන්සිලයට බාර කෙරිණ. ජර්මනිය, මෙන්ටිනීග්‍රෝ හා උතුරු මැසිඩෝනියා යන රටවල් යෝජනාවට සම අනුග්‍රාහකත්වය දරයි.

     

    ජනාධිපති කළ ශ්‍රී ලංකා නියෝජිත පිරිස

    1. විදේශ ඇමති තිලක් මාරපන (නායක )

    සෙසු නියෝජිතයින්

    2. පාර්ලිමේන්තු මන්ත්‍රී - ආචාර්ය සරත් අමුණුගම මහතා

    3. උතුරු පළාත් ආණ්ඩුකාර - ආචාර්ය සුරේන් රාගවාන්

    4. විදේශ කටයුතු ලේකම් - රවිනාත ආරියසිංහ මහතා

    5. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - ඒ. නෙරීන් පුල්ලේ,

    Last modified on බදාදා, 13 මාර්තු 2019 20:17

    Latest News