තංගල්ල ප්‍ර.ස. හිටපු සභාපති; ඝාතන හා ස්ත්‍රී දූෂණ දඬුවම් පිළිගනී

මාර් 13, 2019

    කුරාම් ෂයික් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 20ක සිර දඬුවම් ලබා සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගැනිණ.

    මෙම අභියාචනා ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.

    එහිදී ප්‍රධාන විත්තිකරු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ එම දඬුවමට එරෙහිව තම සේවාදායකයා ඉදිරිපත්කල අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට ඔවුන් සූදානම් බවයි.

    ඒ සඳහා අවසර දෙන මෙන් ද එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය. ඒ අනුව එම අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය විත්තිකරුවන්ට පනවා තිබෙන දඬුවම කොළඹ මහධිකරණය තීන්දුව ලබා දුන් දා සිට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

    මෙම චෝදනාවලට ලක්ව සිටි තවත් විත්තිකරුවෙකු සිය අභියාචනය ඉල්ලා අස්කර නොගත් අතර ඔහුගේ අභියාචනය ජුලි මස 24 වනදා කැදවීමට නියම කළේය.

    2012 වසරේ තංගල්ල ප්‍රදේශයේදී කුරාම් ෂයික් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට කොළඹ මහාධිකරණය මගින් බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළේය.

    මහාධිකරණය සිරදඬුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බව පෙන්වාදෙන මෙම විත්තිකරුවන් එම දඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කර තිබේ.

    මේ අතර එම විත්තිකරුවන්ට නියම කර ඇති දඬුවම් ප්‍රමාණවත් නොවන බවත් එය වැඩි කිරීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් ඉල්ලමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ඉල්ලා අස්කර ගත්තේය.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 12:36

    Latest News