ජපාන සමාගමකින් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලස් ඉල්ලූ බවට වූ තො‍රතුර ගැන සොයාබැලීමට ජනපති නියමයෙන් කමිටුවක්...

ජූලි 23, 2022

    ජපානයේ, "තායිසේ" සමාගමෙන් මෙරට කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලස් ඉල්ලූ බවට පළවූ තො‍රතුර සම්බන්ධයෙන් සොයාබැලීමට ත්‍රි පුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කර තිබෙනවා.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුවයි මෙම පරීක්‍ෂණ කමිටුව පත්කර ඇත්තේ‍.  ජපානයේ "තායිසේ" සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලස් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන්වල ප්‍රවෘත්තියක් පළවී තිබුණා. ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශයක් සිදුකළා. මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුවයි, පරීක්ෂණ කමිටුව නම්කර තිබෙන්නේ.

    එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත්කර තිබෙනවා. විශ්‍රාමලත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ, විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වූ එස්.එම්.ජී.කේ පෙරේරා යන මහත්වරුන් සෙසු සාමාජිකයන් වනවා. පරීක්ෂණ වාර්තාව මේ මස 31 වැනිදාට පෙර තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිතුමා දැනුම් දී තිබෙනවා.

    Latest News