ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අභාවප්‍රාප්තවේ....

ජූනි 18, 2022

    ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත වුණා.

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ "පිබිදෙන ගායක පරපුර" පළමු වැඩසටහනේ ප්‍රථම ගීතය ගායනා කරමින්, ඔහු ගුවන් විදුලි ගායකයෙක් බවට පත්වුණා. ඇනස්ලි නානායක්කාර මහතා ගුවන්විදුලියේ නූර්ති, නාඩගම් සහ සරළ ගී සඳහා ශ්‍රේණිගත කිරීමේදී "A" ශ්‍රේණියේ ගායකයෙකු ලෙස කටයුතු කළා. ගුවන් විදුලයේ 1971 ආරම්භ කළ පිබිදෙන ගායක පරපුර වැඩසටහනට පළමුවෙන්ම සහභාගීවෙමින් ඔහු ගායන ක්‍ෂේත්‍රයට පිවිසුණා.

    ඔහුගේ පළමු ගුවන් විදුලි ගීතය වූයේ මාලනී බුලත්සිංහ මහත්මිය සමග ගායනා කළ "ළපලු ලතා මණ්ඩපයේ" ගීතයයි. පසු කලෙක ඔහු ගීත 12කින් යුත් කැසට් පටයක් ද එළි දක්වනු ලැබුවා. වේදිකා නාට්‍ය රැසක ගීත ගායනා කර ඇති ඔහු ඊට රංගනයෙන් ද දායක වුණා. ඇනස්ලි නානායක්කාර මහතා සංගීත ක්‍ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ මෙහෙය අගයමින් 2014 වසරේදී "කලා කීර්තිධර" සම්මානයෙන් ද පිදුම් ලැබුවා. ඔහුගේ දේහය අනුරාධපුර නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (18) සවස සිදු කිරීමට නියමිතයි.

    Latest News