පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පිළිබඳ නියෝගය

ජූනි 07, 2022

    2021වසරේ දී නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව අනුව තවදුරටත් කටයුතු නොකරන බව නීතිපති වරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා.

    නවක මන්ත්‍රීවරු සදහා ඩබල් කැබ් රථ පනහක් ආනයනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අභියෝගයට ලක් කරමින් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ චායා නම්මුණිගේ මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා.

    ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද කැඳවනු ලැබුවා.

    මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකරන බව දන්වා සිටියා.

    එම දැනුම් දීම කෙරෙහි සෑහීමකට පත් වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස අයැද සිටියා.

    ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව එය නිෂ්ප්‍රභ කළා

    ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික මහින්ද ජයසිංහ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට පැවති කැබිනට් මණ්ඩලය, නීතිපති වරයා ඇතුළු 31දෙනෙකු මෙහි වගඋත්තර කරුවන් ලෙස නම් කර තිබුණා.

    2021/05/18 දින නවක පාර්ලිමේන්තු මන්ත්‍රී වරු වෙනුවෙන් ඩබල් කැබ් රථ පනහක්, වතුර බවුසර් පනහක් සහ ගිලන් රථ පනහක් ආනයනය කිරීම සඳහා වන කැබිනට් සංදේශයක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබු අතර ඒවා ආනයනය කිරීම සඳහා ණයවර ලිපි ද විවෘත කළ බවද පෙත්සමේ සඳහන් වුණා.

    අදාළ කැබිනට් පත්‍රිකාව නීතිවිරෝධී බවට තීන්දු කොට එය බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

    Latest News