ගෘහ සේවයෙන් පීඩා විඳින කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්න

මාර් 08, 2019

    අද රට ගොඩනැගීමට අවශ්‍යව ඇත්තේ කුමන පක්ෂය ද, කුමන පුද්ගලයා ද යන්න නොව රටට ආදරය කරන සහ රට ගැන හැඟීමක් ඇති පිරිසකගේ එකතුවක් බව ජනාධිපතිතුමා පවසයි.

    ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දිය යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අද (08) පෙරවරුවේ කොළඹ විහාර මහා දේවි එළිමහන් පීඨයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා දින සැමරුම් උත්සවය අමතමිනි.

    විදේශීය ගෘහ සේවයේ දී පීඩාවට සහ හිරිහැරයට පත්වන මෙරට කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින ශක්තිමත් සංවිධානයක් ලෙස පෙරට පැමිණෙන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයට ආරාධනා කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ විදේශීය ගෘහ සේවයේ නිරත අපගේ මවුවරුන්ට, සොහොයුරියන්ට සහ දියණියන්ට මුහුණදීමට සිදුවන පීඩාවන් සහ ශෝක ජනක සිදුවීම් පිළිබඳ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ හඬ නඟන සහ ඒ වෙනුවෙන් විශාල මුදලක් උපයන කිසිදු සංවිධානයක අවධානයක් යොමු නොවීම කනගාටුවට කරුණක් බවයි.

    ගෘහ සේවයට සඳහා පිටත්ව යන අපගේ කාන්තාවන්ට ඒ සඳහා පිටත්ව යෑමේ දී මෙරට ඇතැම් පුද්ගලයන් අතින් මෙන්ම නැවත මවු රටට පැමිණිමේ දී ද මුහුණදීමට සිදු වන පීඩාවන් පිළිබඳ සිදුවීම් රැසක් වාර්තා වී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා එම රටවල දී ද ඔවුන්ට විඳීමට සිදුවන අමිහිරි ඇත්දැකීම් මහත් ශෝකාන්තයක් බව කියා සිටියේය.

    මේ පිළිබඳ වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එහි දී රටට ආදරය කරන ජනතාවාදී පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයට පුළුල් කාර්ය භාරයක් ඉටු කළ හැකි බව සඳහන් කළේය.

    අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුමකට හෝ සුහද සාදයකට සීමා විය යුතු නැති අතර, පීඩාවට සහ හිංසාවට පත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රබල හඬක් නගන දිනයක් බවට එදින පත්කරගත යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    “මතින් තොර දේශයක්–තුටින් පිරි කැදැල්ලක්” තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා දින සමරුම් උලෙළ කාන්තාවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

    විශේෂ කුසලතා ඇති දිරිය කාන්තාවන්ට කුසලාන සහ සහතික පත් පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ, වැටලීම් අංශයේ කාන්තා පොලිස් පරීක්ෂක නිලුකා පෙරේරා සහ තාරකා විද්‍යාව පිළිබඳ දස්කම් දැක්වූ දිල්රුක්ෂි සඳරේඛා කුමාරසිංහ මෙනවිය ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී ජනාධිපතිතුමා අතින් කුසලාන සහ සහතික පත් ලබා ගත්හ.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ද, නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, ශ්‍රියානි විජේවික්‍රම, ආරියවතී ගලප්පත්ති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ සභාපතිනි ප්‍රියංගනි අබේවීර, ලේකම් චන්ද්‍රිකා ද සොයිසා යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධාන නියෝජිතවරියන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 08 මාර්තු 2019 19:09

    Latest News