රග්බි සංගමයට එරෙහිව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් නියෝගයක්

මැයි 13, 2022

    ශ්‍රී ලංකා රග්බි සංගමය අත් හිටුවමින් හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළා.

    සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

    එම අතුරු නියෝගය ජුනි මස 30 වනදා දක්වා බල පැවැත්වෙන බවද නියෝගයේ සඳහන් වුණා.

    ශ්‍රී ලංකා රග්බි සංගමය සහ එහි සභාපති එම්. රිස්ලි ඉල්යාස් විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරුණා.

    හිටපු ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ, ක්‍රීඩා සහ තරුණ කටයුතු හිටපු ඇමැති තේනුක විදානගමගේ, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසිංහ ඇතුළු හත් දෙනෙකු මෙහි වගඋත්තර කරුවන් ලෙස නම් කර තිබුනා.

    බස්නාහිර පළාතේ රග්බි සංගමය සිය වාර්ෂික සාමාජික මුදල් නොගෙවීම නිසා එය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා 2019 වසරේ දී ශ්‍රී ලංකා රග්බි සංගමය ට උපදෙස් දුන් බව පෙත්සමෙහි සදහන් වෙනවා.

    එම වසරේදීම එම මුදල් සියල්ල ගෙවූ බව පවසන බස්නාහිර පළාත් රග්බි සංගමය එම රිසිට් පත් සියල්ල ඉදිරිපත් කළ බවද පෙත්සමේ සඳහන් වුණා.

    එසේ තිබියදී නීතිපති උපදෙස් ලබා ගැනීමකින් තොරව ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා රග්බි සංගමයේ බලපත්‍රය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර අප්‍රේල් මස 01 වැනිදා ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කල බවද පෙත්සමේ සදහන් වෙනවා.

    හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා ගේ සොයුරු යෝෂිත රාජපක්ෂ මහතා ට ශ්‍රී ලංකා රග්බි සංගමයේ පරිපාලන කටයුතු ලබා දීම ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවීමේ තීරණයට හේතුවු බව මාධ්‍ය මගින් වාර්තා වූ බවද පෙත්සමෙහි සදහන් වෙනවා.

    ක්‍රීඩා ඇමතිවරයා ගේ මෙම තීරණය ක්‍රීඩා පනතට පටහැනි බව පෙත්සමේ සඳහන් වුණා.

    එබැවින් එම ගැසට් නිවේදනය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

    Latest News