“ද වයිස්රෝයි ස්පෙෂල්” කෘතියේ සිංහල අනුවාදය එළිදකී

මාර් 07, 2019

    හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත “ද වයිස්රෝයි ස්පෙෂල්”, කෘතියේ සිංහල අනුවාදය භාරත තෙන්නකෝන් මහතාගේ නිර්මාණයක් ලෙස එළිදැක්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 

    මෙරට සංචාරක කර්මාන්තයේ සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් සනිටුහන් කළ නිර්මාණයක් වන ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ වාෂ්ප දුම්රිය නිර්මාණය කිරීම, මෙරට දුම්රිය ප්‍රවාහනයේ දී වාෂ්ප එන්ජින්වල දායකත්වය පිළිබඳ මෙන්ම දුම්රිය ප්‍රවාහනයේ විකාශනය පිළිබඳ පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක කෘතියක් ලෙස “ද වයිස්රෝයි ස්පෙෂල්” කෘතිය නිර්මණය වී තිබේ.

    නවකතාමය ස්වරූපයෙන් ගලා යන පාඨකයා ඇද බැඳ ගැනීමට සමත් “ද වයිස්රෝයි ස්පෙෂල්” කෘතියේ ඇති රසය සහ ගුණය එලෙසම පවත්වාගෙන යමින් එම අත්දැකීම පාඨකයා වෙත දායාද කිරීම අනුවාදකයාගේ උත්සාහයයි.

    භාරත තෙන්නකෝන් මහතා මීට පෙර ‘අසමජ්ජාති ආදරය’, ‘ඊළඟ කෑල්ල’, ‘කුමාරයා’ යන නවකතා මෙන්ම ප්‍රවෘත්ති අත්පොත, පළමු පුරවැසි මැදුරු පුරාණය, කෘති රචනා කර ඇති අතර “ද වයිස්රෝයි ස්පෙෂල්” ඔහුගේ පළමු අනුවාදයයි.

    කෘතියේ පළමු පිටපත භාරත තෙන්නකොන් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන, ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් ද, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, බුද්ධදාස ගලප්පත්ති, මාධ්‍යවේදී වික්ටර් අයිවන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 20:01

    Latest News