ආර්ථික අර්බුදයෙන් මිදීමට දරණ උත්සහයට IMF සහය...

අප්‍රේ 24, 2022

    ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදීමට දරණ උත්සහයට තම සහය හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

    ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් සහ අනෙකුත් සියලු සාර්ශවකරුවන් සමඟ අර්බුදයට කාලෝචිත විසඳුමක් ලබාදීමෙන් ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදිය හැකි බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ. අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී හි පැවති 2022 වසන්ත සමුළුවේදී මෙරට දූත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය අතර, හමුව සිදු වුණා.

    පසුගිය 18 වෙනිදා සිට 22 වැනිදා දක්වා පැවති සාකච්ජා සිදු කෙරුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලිනා ජෝජියේවා මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඇය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාව නියෝජන කරමින් මුදල් අමාත්‍ය අලි සබ්‍රි, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ නියෝජිත පිරිසක් එක්වුණා.

    මෙරට ආර්ථික අභියෝගවලට මුහුණදීම සඳහා විසඳුම් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සඳහා වන මූලික තාක්‍ෂණික සාකච්ජා ද සිදු කෙරුණා. එහිදී ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි මසාහිරෝ නොසාකී සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ IMF නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිස අතර, පැවති සාකච්ජා පළදායි බවයි.

    මෙරට තුළ මූල්‍ය වර්ධනයන් සහ සර්ව ආර්ථික ස්ථායිතාවය ප්‍රතිෂ්ඨාපනය සඳහා විශ්වසනීය සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානයට ලක්වුණා. වත්මන් ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ගයක වැදගත්කම සහ ශ්‍රී ලංකාව සතු සැලැස්ම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වුණා. ඒ අනුව මෙරට ආර්ථික අර්බුදය සාර්ථකව ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරණ උත්සහයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය හිමිවනු ඇති.

    Latest News