සවස් කාලයේ වැසි සහිත කාලගුණයක්

මාර් 21, 2022

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ (21) සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

    ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 පමණ දක්වා වැඩි විය හැකියාව පවතියි. මේ අතර ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ඊයේ (20) ප.ව. 11.30 වනවිට, ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් දූපත් මුහුදු ප්‍රදේශයට ආසන්නව උතුරු අක්ෂාංශ 11.3ත් නැගෙනහිර දේශාංශ 93.4ත් (11.3N, 93.4E) ආශ්‍රිතව කේන්ද්‍රගතව පවතියි. 

    එම පද්ධතිය අන්දමන් දූපත් ආසන්නයෙන් වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ඉදිරි පැය 12 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් බවට සහ ඊළඟ පැය 12 තුළදී සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

    එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ, නැවත දැනුම් දෙන තුරු උතුරු අක්ෂාංශ 07ත් 16ත් අතර සහ නැගෙනහිර දේශාංශ 90ත් 99ත් අතර මායිම්වන ගිනිකොනදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට (07N-16N, 90E-99E) යාත්‍රා නොකරන ලෙසයි. මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි අනාවැකි පිළිබඳ ව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලා සිටියි. 

    Latest News