අමාත්‍ය බැසිල් සහ ඉන්දීය අගමැති අතර හමුවක්...

මාර් 16, 2022

    ශ්‍රී ලංකාව, ඉන්දියාවේ අසල්වැසි සහ සමීපතම මිතුරෙකු බැවින්, අවශ්‍ය ඕනෑම මොහොතක සහය වීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

    කෘෂිකාර්මික, පුනර්ජනනීය, බලශක්ති, ඩිජිටල්කරණය, සංචාරක හා ධීවර කර්මාන්තය වැනි අංශ සංවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ද ඉන්දියාවේ කැමැත්ත පළවී තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර අද ඉන්දීය පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණා.

    දෙදින නිළ සංචාරයක යෙදෙන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති සාකච්ඡා මිත්‍රත්වයේ පදනම මත සිදුකෙරුණු බවයි, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ. මෙහිදී, කෙටි හා මධ්‍යකාලීන ආර්ථික වැඩපිලිවෙළ සම්බන්ධයෙන් අවධානය යොමුවුණා. දුෂ්කර අවස්ථාවක සහය වීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කළා.

    කාබනික වගාව සඳහා ඉන්දියාවේ තාක්ෂණික අත්දැකීම් ලබාගැනීම, නැනෝ පොහොර භාවිතය හා ඊට අදාළ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම ඩිජිටල් අවකාශය තුළ පුද්ගල සේවා ලබාගැනීමට අදාළ විශේෂඥ දැනුම ද්වීපාර්ශවීයව ලබාගැනීම යනාදී කරුණු සම්බන්ධයෙන්ද දෙපාර්ශවයේ අවධානය යොමුවුණා. ශ්‍රී ලංකාවේ පිහිටි රාමායන වංශ කතාවට අදාල ස්ථාන ප්‍රවර්ධනය හා ගුජාරාටි ප්‍රාන්තයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සංචාරක ආකර්ශනය වැඩිදියුණුකිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරුණා.

    මේ අවස්ථාවට දෙරටේ මහකොමසාරින්වරුන් සහ තවත් පිරිසක් එක්ව සිිටියා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය සංචාරය ආරම්භ කළේ ඊයේ. ඉන්දියාවට පැමිණි අවස්ථාවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් ඔහුව පිළිගනු ලැබුවා. මුදල් අමාත්‍යවරයා, ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ෂිරින්ග්ලා මහතා සමග ද සාකච්ඡාවක නිරතවුණා. එම සාකච්ඡාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල, ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News