අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගයෙන් පෙත්සමක්

පෙබ 23, 2022

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "අධිභාර බදු" පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා.

    ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

    එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    පෙත්සම්කරු කියා සිටින්නේ රජය විසින් "අධිභාර බදු" පනත් කෙටුම්පත යනුවෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

    එම පනත් කෙටුම්පත මගින් වාර්ෂිකව රුපියල් මිලියන 2000 ට අධික ආදායමක් උපයන සමාගම් වලින් 25% ක අධිභාර බද්දක් අය කිරීමට යෝජනා කර ඇති බවද ඔහු පවසනවා.

    සේවක අර්ථසාධක අරමුදල මෙන්ම තවත් සේවක සුබසාධන අරමුදල් සමහරක් ද මෙම බද්දට යටත් කොට ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු ඒ තුළින් සේවක සුබසාධනයට දැඩි අගතියක් සිදු වන බවත් චෝදනා කරනවා.

    අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු සඳහන් කරනවා.

    එබැවින් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News