"සුව ධරණී" ඔසු ගම්මාන ව්‍යාපෘතිය ඇරඹේ

පෙබ 17, 2022

    දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සඳහා වැයවන විශාල විදේශ විනිමය ඉතිරි කරලීමේ අරමුණින් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ මට්ටමින් "සුව ධරණී" ඔසු ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

    මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය පසුගියදා කළුතර වළල්ලාවිට, ඉහළ හෙවස්ස, ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

    දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවයි.

    දේශීය ඖෂධීය ශාක වගාව වෙත ජනතාව නැඹුරු කරවා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවිමත් කරලීම මෙන්ම ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ඖෂධීය ශාක හඳුනාගෙන ඒවා වාණිජමය වශයෙන් වගාවට යොමු කර ඖෂධීය අමුද්‍රව්‍ය එම ජනතාවගෙන් මිලදී ගැනීම මෙහි අරමුණයි.

    පුළුල් ක්‍රමවේදයකින් සමන්විත මෙම කටයුත්ත සඳහා දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ඉන්දික පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ම සහභාගි වූහ.

    Latest News