ගෝඨාභයගේ කෞතුකාගාර නඩුවට තවත් විරෝධතාවක්

මාර් 01, 2019

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපති ගොනු කර ඇති ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව මාර්තු මස 15 වැනිදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ අද නියම කළේය.

    මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණ.

    මෙම නඩුවේ චෝදනා ගොනු කර තිබෙන අන්දම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව විත්තිකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඩුව ලබන 15 වනදා කැඳවීමට නියම කර එදිනට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට විත්තියේ නීතිඥවරුන්ට නියම කළේය.

    පසුගිය රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ රුපියල් මිලියන 33.9 ක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

    නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වු භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී. මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.

    Latest News