මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති ධුරය සම්බන්ධයෙන් නියෝගයක්

ජන 25, 2022

    මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය ලබන පෙබරවාරි මස 03 වනදා තෙක් එලෙසම පවත්වාගෙන යන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළා.

    තමන් සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ සේ සලකා ඒ වෙනුවට වෙනත් අයකු පත් කිරීමට එරෙහිව මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්. පී.චන්දන කුමාර ජයවන්දල මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

    සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

    සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සබරගමුව පළාත් පාලන කොමිසාරිස්වරයා, මාවනැල්ල ප්‍රාදේශීය සභාව, කෑගල්ල තේරීම් භාර නිලධාරීවරයා ඇතුළු හය දෙනෙකු මෙහි වගඋත්තර කරුවන් ලෙස නම් කර තිබෙනවා.

    පෙත්සම්කරු කියා සිටින්නේ මාවනැල්ල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් වූ අයවැය පරාජය වීම නිසා තනතුරින් ඉල්ලා අස් වූ බව සලකමින් තමන්ම එම තනතුරෙන් ඉවත් කොට වෙනත් අයෙකු ඒ සඳහා පත්කිරීමට වග උත්තර ආණ්ඩුකාර වරයා සූදානම් වන බවයි.

    ආණ්ඩුකාරවරයාගේ මෙම ක්‍රියාකලාපය ද්වේශ සහගත මෙන්ම නීති විරෝධී යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එබැවින් එය වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News